Header Ads

ආර්‍යාවන්ට මෙන්සස් හැදෙන්නේ නැද්ද? (පක්ෂ වහල් භාවයෙන් තොරව කියවමු!)

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න කාන්තාවකට කිසිම මොහොතක උඩ මළුවට යන්න දෙන්නෙ නැහැ. හේතුව කිළි කියන එක තමයි මම අහල තියෙන්නෙ. එහෙමයි කියල සාමාන්‍ය පිරිම්යෙක්ටවත් ඔතෙන්ට යන්නත් බෑ.

සමහර අය ඔතෙන්ට යන්න ලැබීම මාර භාග්‍යක් විදියට සැලකෙන්නෙ ඒ නිසා. මමනම් එහෙම උදම් අනන කෙනෙක්⁣ගෙන් අහන්නෙ මෙච්චරයි. " බෝධිය වදින්නම ඕනද?" කියල විතරමයි.

ඒ කොහොම වුනත් බෞද්ධයන්ට බෝධිය වැඳීම සිද්ධ කරන්න අවශ්‍ය වුනාට භාරකාරයන්ගෙන් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නැත්තං ලොකු දුකක් දැනෙනව. බෞද්ධ මාර්ගයේ නොයන පිරිසකට යන්න දීල ඇත්තම බෞද්ධ හුදී ජනයාට එතෙන්ට යන්න නොලැබීම තමයි ඒ දුකට හේතුව.
මේ බෝධිය වදින්න උඩමළුවට යන්න නොලැබීම නැවත කතාබහට ලක්වෙමින් පවතිනව.

ඒකට හේතුව මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ පිරිස බෝධිය වඳින්න උඩමළුවට යාම. එතනදි ශිරන්ති රාජපක්ෂටත් අවස්ථාව ලැබෙනව බෝධිය වදින්න උඩ මළුවට යන්න.
නමුත් කාන්තාවන්ගෙ කිළි නිසා බෝධිය වඳින්න කාන්තාවන්ට ඉඩ නොලැබෙන මොහොතක ශිරන්තිට එහෙම යන්න ලැබීම ප්‍රශ්නාර්ථයක්. මේ විදියටම රටේ ජනාධිපති විදියට චන්ද්‍රිකාත් ඒ කාලෙ හරි හරියට උඩමළුව තරණය කරා. වෙනනම් උඩමළුවට ගියපු කාන්තාවො මට මතක නැහැ. මේ තත්වයම දළදා මාළිගාවෙත් සිද්ධ වෙනව කියල දැනුවත්. දළදා මාළිගාවට මාත් එත සැරයයි ගිහිං තියෙන්නෙ. ඒ නිසා ඒ ගැන අවබෝධයක් නැහැ මට.
මේ කෙසේවෙතත් මට හිතෙන හැටියට ශිරන්ති ට චන්ද්‍රිකා ට මාසික ඔසප් වීම සිද්ධ වෙන්නෙ නැතිව ඇති. බොහෝ විට ඒ අය වයසත් එක්කනෙ ඉතිං. ඒ නිසා යන්න දෙනව ඇති.
මේ යල්පැනපු සමාජ සම්මුතීන් පදනම් කරගෙන ආගමික හිංසනය නැවත නැවත් සිද්ධ වෙනව, ඒව ප්‍රශ්නාර්ථ වුනත් ප්‍රශ්න කිරීමට තහනම් වුන දේව වාක්‍ය වගේ දේවල් බවට පත්වෙලා. මේකෙත් තියෙන බරපතලම ඛේදවාචකය ඔය කිසිම දෙයක් නෙමේ. ඒ දෙය ප්‍රශ්න කරන අයටත් මේ සාමාන්‍ය සමාජයෙන්ම ප්‍රහාර එල්ල වීම.

බෞද්ධ සමාජයට ජයශ්‍රී මහා බෝධියත් දළදාවත් හිමිවන්නේ කාන්තාවන් දෙ⁣දෙනෙකුගේ උපකාරයෙනි. ඒ සංඝමිත්තා රහත් මෙහෙණිය සහ හේමමලා කුමරිය යන දෙපළගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙනි. ඒ ආකාර වූ කාන්තා මැදිහත් වීමක් තුළ ලැබුනු දායාද වල උරුමය කාන්තාවකට අද වන විට නොලැබී යාමටත් VIP කාන්තාවන්ට ඒ අවස්ථාව ලැබීමත් ආගමික සංස්ථාවම විහිළුවට ලක් වන කරුණකි.

මේ කියන යල්පැනපු අදහස් මත පදනම් වෙමින් ආගමිකයාට සිය ආගමික සංකේත වැද පුදා ගන්න නොලැබෙන අතරෙම බෞද්ධයො මුස්ලිම් කාන්තාවන්ගෙ බුර්කාවට හිනාවෙනව ඒව තමා හොඳම විහිළු. මුස්ලිම් අයගෙ බුර්කා නීති වගේම තමයි බෞද්ධ සමාජෙ විසින් මේ තමන් විසින් තමන්ටම පනවා ගත්ත නීතිමය බාධාවන්. මේ හැම දෙයක්ම විහිළු බව දැනගෙන අපි විසින් ඒව ප්‍රතික්ශෙප කරන්න ඕන සහමුලින්මයි. ඇයි අපි බෝධිය වදින්නෙ? උඩමළුවට යන්නම ඕනද? මෙහෙම සංකේත බෞද්ධකම් වලින් වැඩක් තියෙනවද? වදින්න දෙන්නැත්තං ඒ ඒකාධිකාරී බලය එයාලට තියාගෙන ඉන්න කියල අපි නියම ප්‍රතික්ශෙපය සිද්ධ කරානම් හරි නේද? කියන ඇත්ත ප්‍රශ්න ගැන අපි සංවේදී නොවෙන්නෙ ඇයි? ඒකට හේතුව ආගමික වහල් බව, ආගමික ගැති බාවය.

අපිට බෝධිය වදින්නම ඕනනම් පුලුවන් ගමේ පංසලේ බෝධිය වදින්න, අපිට එතනදි කිසිම තහංචියක් නෑ. පංසලේ බෝධිය වදින්න ගියාම වෙනම ප්‍රශ්න ටිකක් තියෙන බවත් ඇත්ත. නමුත් අර පස්සෙං යන්නැතිව මේ අපිට ලැබිල තියෙන දෙයින් ප්‍රයෝජන ගත්තනම් හොඳයි කියල මට හිතෙනව. ඒක හොඳ ඔප්ෂන් එකක්.

දැන් කාට හරි කියන්න පුලුවන්. අනුරාධපුර එකට වඳින තරම් ගමේ එක ෆීල් වෙන්නෑ කියල. ඔව් එහෙම එකකුත් තියෙනව තමයි. ඔයාලට එහෙම ෆීල් වෙන්නැත්තං ගමේ පංසලට ගිහිල්ල බෝධිපූජා කරන එකත් තනිකර විහිලුවක් කියල ඇයි නොහිතෙන්නෙ? ගමේ පංසලේ බෝධිය දඹදිව සිට වැඩමෙව් බෝධියවත් ගෞතම මුනිදුන් පිටදුන් බෝධියවත් නෙමේනෙ.
මේ වගේ අපිට තර්ක කර කර ඉන්න හොඳ ප්‍රශ්න ටිකක් තියෙනව.

ඒ සියළු ප්‍රශ්න වලට වඩා ඉහළින් අපි අපේ සංස්කෘතික වටිනාකම් වලට ගරු කරනව. බෞද්ධ ආගමිකයට ජය ශ්‍රී මහා බෝධිය කියන්නෙ වටිනා ආගමික සංකේතයක්. ඒ සංකේතය වැඳ පුදා ගැනීම දැක බලා ගැනීම ආගමිකයා⁣ට තියෙන අයිතියක්. ඒ අයිතිය උල්ලංඝණය වෙද්දි සමහර විට සැබෑ ආගමිකයා තුළ යම් කළකිරීමක් සමස්ථ ආගමික සමාජයම කෙරෙහි ඇති වෙන්න පුලුවන්. අන්න එතනදි තමයි මේ VIP මිනිස්සුන්ව අපි ප්‍රශ්න කරන්න ඕන. මෙයාලගෙ ඇති දැහැමි බවකුත් නැහැ. රැක්ක බෞද්ධ කමකුත් නැහැ. හැබැයි සල්ලි තියෙනව, බලය තියෙනව. ඒ නිසා උඩටම ගිහිල්ල සැපට වඳිනව. භාරකාර නායක හාමුදුරුවොත් පස්සෙං යනව. කොච්චර සැපද නේහ්? මේක ගැන සුනිල් අරියරත්න ලියනව ලස්සනට,

වදිනට ගිය කලදි නුවරදි දලදාව
ගමේ චන්ඩි ස්ටැන්ලිද සිටියාය
යාළු නිලමෙලා දොර හැර දුන්නාය
ලගටම ගොසින් ඔහු දලදා වැන්දාය කියල එතුම ලියනව.

මේ කියන චන්ඩි ස්ටැන්ලිලට තමා අදටත් බෝධිය දළදාව වදින්න හිමිකම් තියෙන්නෙ. ඒවයෙ භාරකාර මණ්ඩල වලත් ඉන්⁣නෙ චන්ඩි ස්ටැන්ලිල ලගටම ගිහිං වදින්න දගලන්නෙත්, වදින්නෙත් චන්ඩි ස්ටැන්ලිල.

මේ බෝධියට මීට වඩා වටිනාකමක් ලැබෙනව වෙන බටහිර රටක තිබ්බනම්. ඒ අය මේක සම්පූර්ණයෙන් විවෘතව තබාවි. අපි හැමෝටම ඔතෙන්ට ගිහිල්ල රිසි සේ ඉන්න පුලුවන් වේවි. අපිට බුදුහාමුදුරුවො ෆීල් වෙන තරමටම බෝධියටත් ගරු සත්කාර කරන්න පුළුවන් වේවි. මොකද බටහිර රටවල් වල යල්පැනපු දේවල් යාවත්කාලීන වෙනව. එයාල පරණ දේවල් වලට අප්ඩේට්ස් දෙනව කාලෙන් කාලෙට. නමුත් අපේ රටේ අප්ඩේට්ස් දෙන්න හැදුවොත් ඒ දෙන්න හදපු එකා නිරාගමිකයෙක් විදියට හංවඬු ගහල ⁣හිරබත් කන්නත් වෙනව. මේක මේ යුගයේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් විදියටයි මම දකින්නෙ.
කුළය රකින හාමුදුරුවරු අතින්, බමුණු දිට්ඨියෙන් ස්ත්‍රිය විවේචනය කරන හාමුදුරුවරු අතින් බෞද්ධ දර්ශනයේ සැබෑ සංතුෂ්ටිය ආගමිකයාට ලබා ගන්න බැරි වීම පුදුමයක් නෙමෙයි.

|ගුරුගොඩ සිරිවිමල

(පක්ෂ වහල් භාවයෙන් තොරව කියවමු!)

1 comment:

  1. දළදා කරඬුව තැන්පත් කොට ඇති කුටියට ත් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ විරාජ මාන වන උඩමළුවට ත් කාන්තාවන්ට පිවිසීම වලක්වන සිරිතක් නැති බවයි මගේ අවබෝධය. මීට වසර තුනකට පෙර දළදා මාලිගාවේ මුරුතැන් පූජාවක දී එහි ගිය දායක දායිකා දෙපිරිසම ඇතුළු කුටියට ගොස් මල් පූජා කරනු දුටුවෙමි. උඩමළුවේ ත් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම 'තෝරාගත් පිරිස්' ගොස් වන්දනා කරනු දැක තිබෙන බවයි මගේ මතකය. (1976 සිට 1981 දක්වා මා කල් ගත කලේ අනුරාධපුර ශුද්ධ නගරයේය). මේ තැන් දෙකටම විශේෂ වූ නෑකමක් මට නැත. මා ඒ දෙපලම සලකන්නේ සජීවී කෞතුකාගාර ලෙසය. මා ආගිය කෞතුකාගාර බොහෝ විට සොහොන් කොත් වැනි ස්මාරකය. යථෝක්ත ස්ථාන දෙකම දීර්ඝ කාලයක් තිස්සේ පරිණාමයන්ට හෙමිහිට ලක් වෙමින් මේ කෞතුකාගාර සජීවීව පැවත්ම මම අගය කරමි. එසේම මේවා ලාංකික ප්‍රභූ බුද්ධාගමේ සංකේතයි. දේවානම්පිය තිස්ස සමයට පෙර සිට ලංකාවේ බෞද්ධයන් සිටින්නට ඇත. බෝධිය කංකසන්තුරේ සිට වඩමවා ගෙන ආ මග දිගට එයට පූජා පැවැත්වූ බව කියැයේ. මහින්දාගමනයෙන් මාස කීපයකින් බෝධියට පුද පූජා පවත්වන්නට නම් ස්වදේශිකයන් ඊට පෙර සිටම බුද්ධාගම අදහන්නට ඇතයි උපකල්පනය කරමි. මහින්දාගමනයෙන් සිදු වූවේ එතෙක් සාමාන්‍ය ජන කොටසකගේ ආගම ලෙස තිබූවක් රාජ්‍යාගම වීම වන්නට ඇත.

    අනිත් අතට රාජකීය මෙහෙණින් වහන්සේ නමකුත් රාජකීය කුමරියකුත් ලංකාවට ගෙන ආ මේ ශාරීරික හා පාරිභෝගික ධාතූන් 'රජ මානසිකත්වයකින් යුතු' ප්‍රභූ පවුල්වල සාමාජිකයන් තම උරුමයන් ලෙස සලකනවා විය හැකිය. මෙහි දී ඔබ මතුකොට දක්වන අදහස මම අගය කරමි. රනින්, රිදියෙන්, හෝ ඇත්දළයෙන් කළ පිළිම ආදිය ආගමික හරයන්ට එකතු කරන්නේ ලෞකික වටිනාකම්ය. ඒවායේ ආධ්‍යාත්මික වටිනාකම ක් ඇත්තේම නැත. ධනය, බලය,හේ ඇඳුනුම්කම් නැති තම ආගම දිවි දෙවෙනි කොට තම අනන්‍යතාවේ ගැඹුරුම කොටසක් ලෙස සලකන අසරණ සාමාන්‍ය සැදැහැවතාට/ වතියට මේ තැන්වලට ගොස් වන්දනාමාන කිරීමේ අයිතිය තිබිය යුතුය. නිදහස්ව නිවහල්ව සිතන තරුණ හිමිවරයකු වන ඔබට සුබ පතමි.

    ReplyDelete

Powered by Blogger.