Header Ads

කර්තෘ අයිතිය රැකදුන් ඓතිහාසික තීන්දුව

දිනපතා පත්තර කියවන පාඨකයන්ට නම් “නඩු තීන්දු” වූ කලි අලුත් මාතෘකාවක් නොවේ. ඒ  ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා තිබෙන්නා වූ උසාවිවල නඩුකාරවරුන් දෙන තීන්දුවලින් දිනපතාම පත්තර පිටු පිරී යන බැවිනි. මේ නඩු තීන්දුවලින් බහුතරයක ඇත්තේ හොරුන්ට කොල්ලකරුවන්ට ස්ත්‍රී දූෂකයන්ට මිනීමරුවන්ට දුන් දඬුවම්ය. ඒවා පාඨකයන් අතර බොහෝ ජනප්‍රියය.
කෙසේ නමුදු දෙතුන් සතියකට පමණ ඉහතදී කොළඹ වාණිජ මහාධිකරණය
දුන් ඓතිහාසික නඩු තීන්දුවක් බොහෝ පුවත්පත්වලට මග හැරුණේය. ඇතැම් විට ඒ තීන්දුව සාමාන්‍ය ජනතාවට නොවැදගත් බවට කල්පනා කළ නිසා වෙන්නැතිය.
ඒ එම නඩුවේ ස්ත්‍රී දූෂණයක හෝ මිනීමැරුමකදී හෙළිවන රස කතා නැති බැවිනි. එනමුත් කොළඹ වාණිජ මහාධිකරණය දුන් නඩු තීන්දුව නම් බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අය බොහෝ සතුටට පත් කළ බවට සැක නැත. බුද්ධිමය දේපළ යනුවෙන් කී විට අපේ මිතුරෙකු විහිළුවකට මෙන් ඇසුවේ එය ඉඩකඩම් පිළිබඳ නඩුවක්ද කියාය. ඔහු එසේ ඇසුවේ බුද්ධිමය දේපළ පිළිබඳ අපේ රටේ බොහෝ දෙනෙක් නොදන්නා බැවිනි. යටත් පිරිසෙන් කලාකරුවෝ පවා ඒ ගැන දන්නේ නැත. මේ විෂය ගැන කතා කෙරෙන්නේ කොළඹ සමාජයේ සිටින ටික දෙනෙක් අතරේ පමණි. එනමුත් මැයි දහසය වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය දුන් ඓතිහාසික නඩු තීන්දුව නම් වටින්නේ කොළඹ සමාජයට පමණක් නොවේ. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ නියැලී සිටින රටේ කවරකුට වුවද එම නඩු තීන්දුව ලැමිනේටින් කර බිත්තියේ එල්ලා තැබිමට තරම් වටින්නේය.
මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර විසිනි. නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ‍පොතක කර්තෘවරයා යනුවෙන් හඳුන්වන්නේ කවුද යන වගය. කොළඹ වාණිජ මහාධිකරණයට ‍පොතක කර්තෘවරයා කියන්නේ කාටදැයි තීන්දු කරන්නට සිද්ධ වූයේ ප්‍රසිද්ධ ‍පොතක කර්තෘත්වය සම්බන්ධයෙන් උද්ගත වූ ආරවුලක් බැවිනි. ඒ ‍පොතේ නම “ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්ය.” ‍පොතේ ප්‍රකාශකයා වූයේ නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝය. දෙදහස් පහේදී මුල් වරට දොරට වැඩි මේ කෘතියේ මිල රුපියල් හත්සියයකි. “ගල්කිස්ස” හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” ‍පොතේ සඳහන්ව තිබුණේ එහි සංස්කාරකවරිය ධර්මා සමරනායක බවය. ප්‍රසිද්ධ ‍ලේඛිකාවක් වන ඇය “තරුණි හා “සිරිකත” යන කාන්තා පුවත්පත්වල කර්තෘවරිය ලෙසද කලක් වැඩ කළාය.
ඇය පවසන පරිදි මින් පෙර අවස්ථා ගණනාවකදීම ඇගේ ‍පොත් රැසක්ම සරසවි ප්‍රකාශකයන් වෙතින් ප්‍රකාශයට පත්ව තිබේ. ලංකාවේ ග්‍රන්ථ ක්‍ෂේත්‍රයේ තිබෙන සාමාන්‍ය ක්‍රමවේදය අනුව නම් ප්‍රකාශන ආයතනයට ‍පොතක් ලියා දුන් කල්හි ලැබෙන්නේ ‍පොතේ වටිනාකමින් සියයට දහයක මුදලකි. සාමාන්‍යයෙන් ‍පොතක් මුද්‍රණය කෙරෙන්නේ වරකට ‍පොත් දහස බැගිනි. එසේ බලන විට ‍පොතේ වටිනාකමෙන් සියයට දහයක අගය ගන්නා මුදල දහසින් වැඩි කර විට ලැබෙන මුදල කර්තා භාගය ලෙස ගෙවනු ලැබේ.
කෙසේ නමුදු “ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” කෘතිය දෙදහස් අටේ අවුරුද්ද වන විට හය වතාවක් මුද්‍රණය කර තිබුණද එනම් ‍පොත් දොළොස් දහසක් විකිණී තිබුණද ධර්මා සමරනායක කියන්නේ තමාට කර්තෘ භාගය නොලැබුණු බවය.
ප්‍රකාශකයා මුලින්ම මට රුපියල් විසිපන්දහසක මුදලක් දුන්නා. ඊට පස්සේ සතයක්වත් දුන්නේ නෑ. මම මේ ගැන සරසවි ප්‍රකාශකයන්ගෙන් විමසූ විට ඔවුන් කීවේ පබිලිස් සිල්වාට කර්තෘ භාගය ගෙව්වා කියලා. නමුත් මම ඔවුන්ට කීවා ‍පොතේ කර්තෘ මමයි මටයි කර්තෘ භාගය හිමි වන්න ඕනේ කියලා.
‍පොත් දොළොස් දහසක් පමණ ඒ වන විටත් විකිණී තිබූ නිසා මට රුපියල් අටලක්ෂ හතළිස් දහසක පමණ කර්තෘ භාගය හිමි වී තිබුණා. නමුත් මට ඒ මුදල ගෙවන්න ඔවුන් ප්‍රතික්‍ෂේප කළා.” ධර්මා සමරනායක කියන්නීය.
“ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” කෘතිය නඩු නිමිත්තක් වන්නේ කර්තෘ භාගය සම්බන්ධයෙන් ඇති වූ මේ ප්‍රශ්නය නිසාය. සරසවි ප්‍රකාශකයෝ කියන හැටියට ‍පොතේ අයිතිය ඇත්තේ පබිලිස් සිල්වාටය. එනමුත් ධර්මා සමරනායක කියන්නේ ‍පොතේ කර්තෘ තමා බවය. මේ නිසා ඇය බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රකට නීතිඥවරයකු වන අශෝක සේරසිංහ මගින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පැවරුවාය. ඒ දෙදහස් අටේ ජූලියේදීය. නඩුවේ වග උත්තරකරු වූයේ නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝය. එම ආයතනය වෙනුවෙන් පෙනී සිටියේද බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන තවත් නීතිඥයකු වන මහින්ද රැළපනාවය. වසර පහකට ආසන්න කාලයක් ඇසුනු නඩුවේදී බොහෝ තර්ක විතර්ක ඇති වුණි. සරසවි ප්‍රකාශකයෝ කීවේ කර්තෘ භාගය පබිලිස් සිල්වාට ගෙවූ බවය. “ගල්කිස්ස හෝටලයේ සිංහල සූපවේදී” යනුවෙන් සඳහන් කෘතියක් වෙනුවෙන් අත්සන් කළ ගිවිසුමක්ද අධිකරණයට ඉදිරිපත් වුණි. එනමුත් නීතිඥ අශෝක සේරසිංහ තර්ක කළේ ධර්මා සමරනායකගේ කෘතිය “ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” බවය.
එම කෘතිය ලිවීමට විද්වතුන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මෙන්ම සොයාගත් පර්යේෂණාත්මක තොරතුරු තමාගේ නිර්මාණශීලී හැකියාවෙන් ‍පොතක් බවට පරිවර්තනය කළේ ධර්මා සමරනායක බැවින් මේ කෘතියේ කර්තෘ ඈ බව නීතිඥ අශෝක සේරසිංහ කීවේය.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු ගෙනහැර දැක්වූයේ බුද්ධිමය දේපළ පිළිබඳ ප්‍රකට ඉන්දීය විද්වතෙකු වන ආර්. නාරායන්ගේ නිර්වචනයකි. ඒ ‍පොතක් ලියන පුද්ගලයා කර්තෘවරයා ලෙස හඳුන්වන බවය.
“සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ‍පොතක් ලීවා කියලා එම සාකච්ඡාව දුන් පුද්ගලයා කර්තෘ වන්නේ නෑ.
චරිතාපදානයක අයිතිය තිබෙන්නේ එම චරිතයට අදාළ පුද්ගලයා නොවේ. ඔහුගේ චරිතය නිර්මාණශීලීව පාඨකයාට ඉදිරිපත් කරන ‍ලේඛකයායි” නීතිඥ අශෝක සේරසිංහ අවධාරණය කරන්නේය.
කෙසේ නමුදු නඩු  නිමිත්තට හේතු වූ “ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වා හෙළ රටාවට ඉවුම් පිහුම්” කෘතියේ ඔහුගේ නම සඳහන් වුණ ද ධර්මා සමරනායක කීවේ ‍පොතේ ඇත්තේ පබිලිස් සිල්වා පමණක් කියූ කාරණා නොවන බවය.  විදේශ සමයට පෙර ලංකාවේ ආහාර ආයුර්වේදයේ සූපශාස්ත්‍ර ගැන විග්‍රහද මේ ‍පොතේ සඳහන්ය. විදේශ සමයට පෙර ලංකාවේ ආහාර පරිච්ජේදය ලියා ඇත්තේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග සමග සාකච්ඡාකර ය.
සාක්ෂි දීමට අධිකරණයට පැමිණි හරිස්චන්ද්‍ර විජේතුංග කීවේ තමාගෙන් එම සාකච්ඡාව ගත්තේ ධර්මා සමරනායක බවය.
මේ ‍පොතේ කර්තෘ කවුදැයි කියා වසර පහක් පුරා නඩු කියැවුණිද, සරසවි ප්‍රකාශකයන්් කර්තෘ භාගය ගෙව්වා යැයි කියූ ගල්කිස්ස හෝටලයේ සූපවේදී පබිලිස් සිල්වා සාක්ෂි දීමට උසාවියට ආවේ නැත.
කෙසේ නමුදු නඩුව අවසානයේදී කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අමරසේකර තීන්දු කළේ “ගල්කිස්ස හෝටලයේ පබ්ලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” කෘතියේ කර්තෘවරිය ධර්මා සමරනායක බවය. එබැවින් කෘතියේ කර්තෘ භාගය ඇයට ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ ආයතනයට නියෝග කළේය.
එම නියෝගයට පිළිනොගන්නේ නම් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමය. මක්නිසාදයත් බුද්ධිමය දේපළ පනත යටතේ වාණිජ මහාධිකරණය දුන් තීන්දුවත් අභියාචනය කළ යුත්තේ අභියාචනාධිකරණයේ නොව කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ බැවිනි.
මේ ගැන අප කළ විමසුමකදී පිළිතුරු දුන් සරසවි ප්‍රකාශකයෝ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමසිරි කීවේ වාණිජ අධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බවය.
එනමුත් සුප්‍රසිද්ධ ‍ලේඛිකා ධර්මා සමරනායක කියන්නේ තමා මේ නඩුව පැවරුවේ සල්ලි පමණක් බලා‍පොරොත්තුවෙන් නොවන බවය. “මට ඕනෑ වූයේ ‍ලේඛකයන්ට සාධාරණය. ඉටු කර ගන්න. ඒක අධිකරණයෙන් ලැබුණා. මේ තීන්දු අනාගතයේදී හොඳ පූර්වාදර්ශයක් වේවි” ඈ කියන්නීය.
“‍පොතේ අයිතිය ගිවිසුමකින් ප්‍රකාශන ආයතනයකට හෝ පුද්ගලයෙකුට පවරා නැතිනම් ‍පොතේ අයිතිය ඇත්තේ කර්තෘවරයාටයි. මේක ඓතිහාසික නඩු තීන්දුවක්. ‍පොතක කර්තෘවරයා කියන්නේ කවුද කියලා මේ තීන්දුවෙන් නිර්වචනය වුණා. මේ තීන්දුවෙන් සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ නිරතවී සිටින අයට වටිනා පණිවුඩයක් ලැබෙනවා. බොහෝ සාහිත්‍යකරුවන් තමන්ගේ හැකියාවෙන් අලෙවි වනවා බලා සිටිනවා මිසක් තමන්ගේ අයිතීන් ගැන කතා කරන්නේ නෑ. නමුත් මේ තින්දුව බුද්ධිමය දේපළ ගැන උනන්දුවක් දක්වන අයට හොඳ උත්තේජනයක්” නීතිඥ අශෝක සේරසිංහ සඳහන් කරයි.

මිහිරි ෆොන්සේකා

1 comment:

  1. ඇයට සාධාරණයක් වෙලා තියන හැඩයි.

    ReplyDelete

Powered by Blogger.