Header Ads

පාප් වහන්සේ එද්දී පුටුවේ ඉන්නේ කවුද?

1999 බස්නාහිර පළාත් සභා තියන්න එකල ජනාධිපතිනි චන්ද්‍රිකා තීරණය කළේ අප්‍රේල් මාසයේය. අප්‍රේල් කියන්නේ කතෝලිකයන් පාස්කු උත්සවය සමරන මාසයය. චන්ද්‍රිකා ජේ‍යාතිෂ උපදෙස් මත දිනය තීන්දු කළේ පාස්කු උත්සව සමයේය. එවකට කතෝලික පල්ලියේ අගරදගුරුව සිටියේ නිකලස් මාකස් හිමිය. එහිමි ඡන්දය කල් දමන ලෙස චන්ද්‍රිකාට කීවත් ඇය අදිමදි කළාය. අගරදගුරු කතෝලික ඉතිහාසයේ පළමු වරට පල්ලිවල පූජකයන්ට කතා කොට
කතෝලික ජනතාව පාරට බැස්සුවේය. ජනතාව දස දහස් ගණනින් පාරට බහිද්දී චන්ද්‍රිකා කතෝලික ජනමතයට හිස නමා ඡන්දය කල් දැම්මාය.


ඒ චන්ද්‍රිකාය. චන්ද්‍රිකාට කතෝලික ජනමතය පෙන්වූ ඒ අගරදගුරු හිමි නිකලස් මාකස් හිමිය. අද අගරදගුරු ධුරයේ ඉන්නේ නිකලස් මාකස් හිමි නොව මැල්කම් රංජිත් හිමිය. ඔහු අගරදගුරු නොව පාප් වහන්සේ පත් කළ කාදිනල්වරයෙකි. හැබැයි ඔහුට පාප් වහන්සේගේ සංචාරය සඳහා මහින්දට කියල ජනාධිපතිවරණ දිනය වෙනස් කර ගත නොහැකි විය. කතෝලික සභාවේ රදගුරුවරුන් බහුතරයක් සහ පූජකයන් ජනාධිපතිවරණය පවත්වා දවස් තුන හතරකින් පාප් වහන්සේ ලංකාවේ සංචාරය කිරීම ගැන කැමැත්තක් නැත. ඔවුන්ගේ මතය අගරදගුරු හිමි ජනාධිපතිවරණ දිනය වෙනස් කර ගැනීමට උත්සාහ ගත යුතුව තිබූ බවය. මහින්ද ජනාධිපතිවරණ දිනය වෙනස් කරන්නේ නැති නම් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කළ යුතු බවය.


නමුත් පාප් වහන්සේ රදගුරු මණ්ඩලය හරහා මහින්දගෙන් ඉල්ලීමක් කර ඇති බව ආරංචිය. එම ඉල්ලීම නම් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්විය යුතු බවත්, යම් හෙයකින් මහින්ද පරාජයට පත් වුවහොත් සාමකාමීව ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවත්ය. මහින්ද එයට එකඟතාව පළකොට ඇති බව වාර්තා වේ.
මෙය හොඳ ප්‍රවණතාවකි. ජනාධිපතිවරණයේදී ඡන්ද දූෂණ වළක්වාගන්න වගේම ජනාධිපතිවරණය මහින්ද පරාජය වුවොත් ජනාධිපති ධුරයේ දිගටම රැඳී සිටින්න මහින්ද උත්සාහ ගත්තොත් එය වළක්වා ගන්න මෙය හොඳ බලපෑමකි. ඡන්දය දූෂිත ඡන්දයක් වුවහොත් විපක්ෂය ඡන්ද දිනට පසු දිනම පාරට බසිනු ඇත. එසේම ඡන්දය ප්‍රචණ්ඩ වුවහොත් විපක්ෂය ඡන්ද දිනට පසුදින රටම මළගමක් කරනු ඇත. එවිට කොළඹ සහ රට පුරා සත්‍යග්‍රහ, විරෝධතාවලින් පිරී යනු ඇත. එවන් අවස්ථාවක පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කළහොත් එය මහින්ද ජනාධිපති වුවත් ඔහුට අන්ත පරාජයකි. එසේම මෛත්‍රි දිනා මහින්ද ජනාධිපති ධුරයේ දිගටම සිටියොත් ඒත් පාප් වහන්සේ ලංකා සංචාරය අවලංගු කරනු ඇත.


එහෙම බලනකොට පාප් වහන්සේගේ සංචාරය මේ මැතිවරණය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් බවට පත්කර ගැනීමට බලපෑම් සාධකයක් බවට පත්වී ඇත. මහින්දට ඒ බලපෑම් සාධකයෙන් ගැලවෙන්න හෝ මිදෙන්න නොහැකිය.
මහින්ද පාප් වහන්සේව ගෙන්වා ගන්න නොගත් උත්සාහයක් නැත. ඒ සඳහා ඔහු දෙවරක්ම පාප් වහන්සේ බැහැ දැකීමට ගියේය. සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාද පාප් වහන්සේ බැහැ දකින්න යැව්වේය. මේ හැම අවස්ථාවකදීම ඔහු පාප් වහන්සේට ලංකාවට එන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළේය. තමා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ දේශපාලන වාසි ලබාගන්න නොවන බව පෙන්වීමට ඔහු පාප් වහන්සේට ආරාධනා කරන්න රෝමයට ගියේ විපක්ෂයේ වැඩ බලන විපක්ෂ නායක ජෝන් අමරතුංගව රැගෙනය.


පාප් වහන්සේ ජනාධිපතිවරණය අවසන් වී දින දෙක තුනකින් ලංකාවට එන්න තීරණය කළේ මහින්දගේ මෙම දැඩි ඉල්ලීම සලකාය. එහෙම බලන කොට මහින්ද ලවා නිදහස් සාධාරණ මැතිවරණයක් සහතික කර ගැනීමට පාප් වහන්සේට කළ හැකි බලපෑම අවතක්සේරු කළ නොහැකිය.
ලංකාවට පළමු වරට පාප් වහන්සේ කෙනෙක් ආවේ 1970දීය. පාප් වහන්සේ ඒ අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළට ආවේ වෙනත් රටක සංචාරය කරන අතරතුරදීය. පාප් වහන්සේට කටුනායකට එන ලෙස ආරාධනය කළේ 1965-70 රට ආණ්ඩු කළ ඩඩ්ලි සේනානායක අගමැතිය. පාප් වහන්සේව ලංකාවට ගෙන්වා ගන්න වුවමනා වූයේ ඩඩ්ලිටය. ඩඩ්ලි ජේ‍යාතිෂ උපදෙස් මත නියමිත දිනට කලින් මහ ඡන්දයට ගියේ මහ ඡන්දය දිනා පාප් වහන්සේ පිළිගන්නටය. පාප් වහන්සේ පැමිණීමට නියමිතව සිටියේ ඡන්දයට මාස දෙකකට තුනකට පසුවය. ඒත් ඩඩ්ලි 1970 මහ ඡන්දයෙන් පරාජය විය. පාප් වහන්සේ පිළිගැනීමට අවස්ථාව හිමි වූයේ 1970 ඡන්දය දිනා අගමැති වූ බණ්ඩාරනායක මැතිනියටය.


ඊළඟට පාප් වහන්සේ කෙනෙක් ලංකාවට ආවේ 1995 ජනවාරියේය. මෙම සංචාරයට පාප් වහන්සේට ආරාධනා කළේ ප්‍රේමදාස ආණ්ඩුවය. ප්‍රේමදාස ජනාධිපතිවරයා සිතා සිටියේ 1994 ජනාධිපතිවරණය පවත්වා දෙවැනි නිල කාලයට ජනාධිපති වී පාප් වහන්සේ පිළිගන්නටය. ඒත් ප්‍රේමදාස 1993 මැයි ඝාතනය විය. ඊළඟට ජනාධිපති වූයේ විජේතුංගය. ඔහු හිතුවේ තමාට පාප් වහන්සේ පිළිගැනීමට ලැබෙයි කියාය. ඒත් ඒ අවස්ථාව හිමිකර ගත්තේ චන්ද්‍රිකාය. 1994 ජනාධිපතිවරණය ජය ගෙන 1995 ජනවාරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් චන්ද්‍රිකා ඒ මාසයේම පාප් වහන්සේව පිළිගත්තාය.


මේ ඉතිහාසය කියවන විට ලංකාවට පැමිණි පාප් වහන්සේලා දෙදෙනාටම ආරාධනා කළේ එක ආණ්ඩුවකි. පාප් වහන්සේ ලංකාවට එන විට ලංකාවේ බලයට ඇවිත් හිටියේ වෙන ආණ්ඩුවකි. හැම විටම පාප් වහන්සේලා ලංකාවට පැමිණ ඇත්තේ ආණ්ඩු වෙනස් වන ඡන්දයක් කට ළඟ තිබියදීය. පළමු වරට පාප් වහන්සේ ආවේ 1970 පෙරළිය සිදුවී මාස දෙක තුනකින්ය. දෙවැනි පාප් වහන්සේ ආවේ 1994 පෙරළිය සිදු වී මාසයකින්ය. එසේම පාප් වහන්සේ ලංකාවට එන විට හැමදාම බලයේ සිටියේ බණ්ඩාරනායකවරුන්ය. 1970 බණ්ඩාරනායක මැතිනියය. 1994 චන්ද්‍රිකාය.


"මෙවර පාප් වහන්සේ එන විට බණ්ඩාරනායකලා කරළියට ගේන්න හදන මෛත්‍රි ජනාධිපති පුටුවේ ඉඳියිද...?"
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි පාප් වහන්සේගේ ලංකා ගමනයි මෙරට දේශපාලනයයි අතර මොකක්දෝ අදිසි ගනුදෙනුවක් තියෙන බව නම් පැහැදිලිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.