Header Ads

මන්දිරවල වළං හෝදපු අය කියන කතා අපිට වැඩක්‌නෑ! -- අනුර කුමාර දිසානායක

මේ අවස්‌ථාවේ ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කතා කරන්නේ තනතුරු හා වරප්‍රසාද අහිමිවූ පසුගිය ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට නියෝජ්‍ය ඇමැතිවරුන්ට යළිත් එම තනතුරු හා වරප්‍රසාද ලබාගැනීමට හා ඔවුන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනාවලින් ගැලවීම සඳහා ජාතික ආණ්‌ඩු ලේබලයට මුවාවී ආණ්‌ඩුවේ කොටස්‌කාරයන් වෙමින් ආරක්‍ෂාවීමට යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර
කුමාර දිසානායක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" සමග සාකච්ඡාවකට එක්‌වෙමින් පැවසීය. එහිදී අසනු ලැබූ ප්‍රශ්නවලට දිසානායක මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍ර - ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු යෑයි පසුගිය දිනවල කතාබහ වුණා. මේ ගැන ජනතා විමුක්‌ති පෙරමුණ මොකද කියන්නේ?

පි - මේ තියෙන පාර්ලිමේන්තුව ඇතුළේ කිසිසේත්ම ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඉඩ නොදිය යුතුයි. ජනවාරි මාසෙ 8 දා රාජපක්‍ෂ පාලනය බිඳ වැට්‌ටුවේ රාජපක්‍ෂටත් ඔහුගේ පවුලටත් තිබෙන විරෝධය නිසාම පමණක්‌ නොවෙයි. ඒ රාජපක්‍ෂ ආණ්‌ඩුව ගෙන ගිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තමයි මේ ජනවරම ලැබී තිබෙන්නේ. රාජ්‍ය සේවකයන් ගස්‌බැඳීම, මාධ්‍යවේදීන්ගේ අතපය කඩන එක, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, ඇමැතිවරු එතනෝල් ජාවාරමේ යෙදීම, මන්ත්‍රීවරු කුඩු ජාවාරම් කිරීම, රටේ සාමාන්‍ය නීතිය නොසලකා මන්ත්‍රීවරු හා ඇමැතිවරු කටයුතු කිරීම, මහජන දේපළ කෝටි ප්‍රකෝටි ගණන් නාස්‌ති කිරීම සහ සොරකම් කිරීම මේ සියල්ලට එරෙහිව තමයි ඒ ජනවරම ලැබුණේ.

රාජපක්‍ෂ ඉවත්වූවාට පසුව ඔහුගේ අනික්‌ සහචර පිරිසත් එක්‌ක ආණ්‌ඩුවක්‌ ගොඩනැගීම කිසිසේත්ම ඒ ජනවරමත් එක්‌ක එකඟ නැහැ. ඒ නිසා මේ තිබෙන පාර්ලිමේන්තුවේ කිසිසේත්ම ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනැංවිය යුතු නැහැ. ඒ නිසා අපේ ස්‌ථාවරය වෙන්නේ අප්‍රේල් මාසෙ 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි.

ඒ වගේම මේ ජාතික ආණ්‌ඩු යෝජනාවේ ප්‍රධාන අරමුණු දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි තනතුරු, වරප්‍රසාද අහිමි වූ රාජපක්‍ෂ පාලනයේ හිටපු අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට යළිත් තනතුරු සහ වරප්‍රසාද ලබාදීම. දෙවැනි අරමුණ තමයි මේ අමාත්‍යවරුන්ට එරෙහිව තමයි විශාල ලෙස වංචා, දූෂණ හා නාස්‌ති පිළිබඳව අපරාධ පිළිබඳව චෝදනා එල්ල වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා ජාතික ආණ්‌ඩු ලේබලයට මුවාවෙලා ආණ්‌ඩුවේ කොටස්‌කරුවන් බවට පත්වෙලා වංචාවේ, දූෂණයේ, නාස්‌තියේ යෙදීමේ චෝදනාවලින් ගැලවීමට ස්‌වයං ආරක්‍ෂාවක්‌ යොදා ගැනීම. ඒ සඳහා තමයි මේ ජාතික ආණ්‌ඩු යෝජනාව, ඇවිල්ල තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව කිසිසේත්ම මේ යෝජනාවට අනුමැතිය ලබා නොදිය යුතුයි.

ප්‍ර - ජාතික ආණ්‌ඩු යෝජනාව ශ්‍රී ල.නි.ප. වැඩමුළුවේදී ඉදිරිපත් කරල තියෙන්නේ ජනාධිපතිතුමාමද?

පි - ඒ පිළිබඳ තොරතුරු අපට නැහැ. නමුත් ශ්‍රී ල.නි.ප. වැඩමුළුවේදී සාකච්ඡා වූ කරුණක්‌ හැටියට තමයි මේක තියෙන්නේ. ශ්‍රී ලංකා නිsදහස්‌ පක්‍ෂයත් මේ ගැන අවසන් තීරණයක්‌ ගෙන නැති බවයි පෙන්නුම් කරන්නේ. නමුත් මෙය යම් ප්‍රමාණයකට මුට්‌ටිය දාල බලන තත්ත්වයක්‌ තමයි මෙයින් නිර්මාණය වෙලා තියෙන්නේ.

ප්‍ර - ජනතා විමුක්‌ති පෙරමුණ ඇතුළු බොහෝ පක්‍ෂ මෙයට විරුද්ධත්වය පළකොට තිබෙනවා.

පි - ඔව්. මොකද මේ පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක්‌ නැහැ තවත් ඉස්‌සරහට යන්න. අද රටේ ජනතාවගේ තිබෙන ජන වරමයි, පාර්ලිමේන්තුවේ සංයුතියයි අතර විශාල පරස්‌පරයක්‌ තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ එහෙට පැනල තිබෙනවා. මෙහෙට පැනල තිබෙනවා. මන්ත්‍රීවරු සල්ලිවලට අරන් තිබෙනවා. 2010 දීපු ජනවරමට පටහැනිව තමයි මේ පාර්ලිමේන්තුව තිබෙන්නේ.

ඒ වගේම 2015 ජනවාරි 8 දා ජනවරම මගිනුත් මේ පාර්ලිමේන්තුව ප්‍රතික්‌ෂේප කරල තිබෙනවා. ඒ නිසා ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක්‌ තෝරා පත්කර ගැනීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දිය යුතුයි.

ප්‍ර - ඒත් ආණ්‌ඩුව අප්‍රේල් 23 දා විසුරුවා හරින්නේ නැතිව දිගටම ගෙන යැමට නේද මේ ජාතික ආණ්‌ඩු යෝජනා ඉදිරිපත් වෙන්නේ?

පි - විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් යළි බලය ලබා ගැනීමට නොහැකිවේ යෑයි යන සැකය ඔවුන් තුළ තිබෙනවා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා ජාතික ආණ්‌ඩුවක බෝඩ් ලෑල්ලට මුවාවෙලා තමන්ගේ බලය, තමන්ගේ මන්ත්‍රී ධුරය, තමන්ගේ වරප්‍රසාද තව දිගු කාලයක්‌ ආරක්‍ෂා කරගන්න. ඒ නිසා මේ සූදානම් වෙමින් තිබෙන මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට කිසිසේත්ම අපි ඉඩ ලබාදිය යුතු නැහැ.

පි - ඒ වුණාට ඔවුන් කියන්නේ දින 100 වැඩසටහන මේ දින 100 තුළ අවසන් කරන්නට බැරි නිසා පාර්ලිමේන්තුවේ කාලය දික්‌කර ගතයුතුය කියලයි.

පි - දින 100 වැඩසටහන ඇතුළත මේ ටික ඉටුකරගන්න ඉඩ නොදී ඒකට මුවාවෙලා පාර්ලිමේන්තුව කල් දමා ගැනීමේ අරමුණක්‌ තිබෙන්න පුළුවන්. හැබැයි එසේ නැතුව දින 100 කාල රාමුව තුළ ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට කිසිදු බාධාවක්‌ නැහැ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා ස්‌ථාපිත කිරීම, අමාත්‍ය මණ්‌ඩලය සීමා කිරීම, මහා මැතිවරණයේ කාලය හා දිනය නිශ්චිත කිරීම ආදී වැදගත් ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත් කොට අවසන්. දැන් මේවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරන්නයි තියෙන්නේ. එය මාර්තු මාසෙ කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත, ඖෂධ පනත, විගණන කොමිසම ආදී වැදගත් නීති මාර්තු මාසෙ පාර්ලිමේන්තුවට දාල අනුමත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මේ දින 100 තුළ මෙම යෝජනා සියල්ල සම්මත කරන්න හැකියි.

හැබැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඔය සහචර කල්ලි කල්පනා කරනවා ඇති මේක විවිධ ජිල්මාට්‌ දමා විවිධ ගේම් ගසමින් පස්‌සට දමා දින 100 න් එහා පනින්න. අපි කියන්නෙ දැන් කෙටුම්පත් කරල තියෙන 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේදී මේක සම්මත කරගන්න සහාය දෙනවද නැද්ද කියන එක ගැන අපට තීරණයක්‌ ගන්න පුළුවන්. ඒ නිසා වහාම මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

ප්‍ර - පාර්ලිමේන්තුවේ කාලසීමාව මාස 6 කට වගේ කල් දමන ලෙස මාදුළුවාවේ සෝභිත හිමියනුත් ඉල්ලා තිබෙනවානේ?

පි - මේ පාර්ලිමේන්තුවේ තිබෙන මේ විශේෂ තත්ත්වය නිසයි අපිට ප්‍රජාතන්ත්‍රවාදයත්, ප්‍රජාතන්ත්‍ර ව්‍යqහයත් ශක්‌තිමත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. 94 සිට ජනාධිපති ධුරයට චන්ද්‍රිකා මැතිනිය දෙපාරකුත්, මහින්ද මහත්තයා දෙපාරකුත්, මෛත්‍රීපාල මහත්තයා එක පාරකුත් පත්වෙලා තිබෙනවා. පසුගිය අවුරුදු 20 ඇතුළත ජනාධිපති පුටුවේ පස්‌ දෙනෙක්‌ වාඩිවෙලා තියෙනවා. ඒ වාඩි වුණු පස්‌ දෙනාම කිව්වේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. නමුත් ජනාධිපතියි, පාර්ලිමේන්තුවයි පාර්ලිමේන්තුවේ බහුතරය සහ අගමැතිවරයයි එකට පෙළගැසුන හැම වෙලාවකම මේ කරුණ ඉටුවුණේ නැහැ. විධායක ජනාධිපති ධුරයේ තිබූ යම් බලතල ප්‍රමාණයක්‌ ස්‌වාධීන කොමිෂන් යටතට පත්කරගන්න පුළුවන් වුණේ 2001 චන්ද්‍රිකා ආණ්‌ඩුවෙන් හකීම් මහත්තයා ඇතුළු කණ්‌ඩායමක්‌ ඉවත්වීම හේතුකොටගෙන පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වීම නිසා. එදා ඒ 17 වැනි සංශෝධනය සම්මත කර ගන්නට පුළුවන් වුණා. ඒ නිසා මේ පාලකයන්ගෙන් වැදගත් ව්‍යවස්‌ථා සංශෝධන සම්මත කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ ස්‌ථාවරත්වයක්‌ තිබිල නොවෙයි. අද තිබෙන්නෙත් අස්‌ථාවර භාවයක්‌. එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතර ඡන්ද දායකයන්ගේ කැමැත්තෙන් ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ල.නි.ප. යේ නායකයා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ එජාප මන්ත්‍රීවරුන් ඉන්නේ 41 යි. හකීම් මහත්තයාගේ කණ්‌ඩායමයි ජනාධිපතිවරණයට පෙර සහාය දෙන්න පැමිණි කණ්‌ඩායම්ද එකතු කළොත් 61 යි. ඒ නිසා පාර්ලිමේන්තුවේ 60 ක සහාය ලබාගන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරුන්ගේ සහයෙන් අගමැති ධුරය හොබවනවා. මේ තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. ජනාධිපතිත්, පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අගමැති ධුරයත් එක පැත්තකට ගිහිල්ල මේක කෙළවර වේවි. එතකොට කිසිදෙයක්‌ කරන්න බැහැ. ඒ නිසා මෙන්ම මේ කාලය ඇතුළත මේ පනත් සම්මත කර ගැනීම තමයි අපේ වගකීම.

ප්‍ර - පසුගිය දිනවල මාධ්‍යවල පළවුණා ඔබට අරලියගහ මන්දිරයෙන් කාමරයක්‌ ලැබී තිබෙනවාය කියලා. ඒක ඇත්තද?

පි - අරලියගහ මන්දිරයේ පසුගිය කාලේ පිඟන් හෝදපු අය, වළං හෝදපු අය අරලියගහ මන්දිරයේ රෙදි අපුල්ලපු අය මෙවැනි අවලාද සහිත ප්‍රවෘත්තියක්‌ නිර්මාණය කරල තිබෙනවා. මා දැක්‌කා එක්‌තරා වෙබ් අඩවියකුත්, එක්‌තරා පුවත්පතකුත් මේ ප්‍රවෘත්තිය පළකරල තිබුණා. අඩුම තරමේ මාධ්‍ය කලාවේ අවම සදාචාරයවත් ආරක්‍ෂා කරනවා නම්, තවම මගෙන් ඒ පිළිබඳව ඔබ අසන තෙක්‌ එය පළකරන ලද අය මගෙන් ඒ ප්‍රවෘත්තිය ගැන විමසල නැහැ. කෙසේ නමුත් ඔබට ස්‌තුතිවන්ත වෙනවා. ඒ ප්‍රශ්නය ඇසීම පිළිබඳව. ඔය ගොඩක්‌ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ ජනතා විමුක්‌ති පෙරමුණ ගැන නොදන්න අය. අපට අමාත්‍ය ධුර 4 ක්‌ තිබුණා. ඒ අමාත්‍යවරු 4 දෙනාටම නිල නිවසක්‌ දුන්නා. ඒවායේ වතුර, ලයිට්‌ බිල ඇඳ ඇතිරිලි, මුරකරුවන් මේ සියල්ල ආණ්‌ඩුවෙන් ලබා දුන්නා. හැබැයි අපි කිසිවෙක්‌ ඒ ඇමැති නිල නිවාස ලබා ගත්තේ නැහැ. ප්‍රතික්‌ෂේප කළා. ජනතා විමුක්‌ති පෙරමුණ කෙරෙහි ජනතාව තුළ ගොඩනැගී තිබෙන විශ්වාසය පළුදු කිරීම සඳහා ගොතන ලද පැළකරන ලද ප්‍රවෘත්තියක්‌ මේක. අපි ඒවට සැලෙන්නේ නැහැ. ඔවුන්ගේ මාධ්‍ය කලාව කුමක්‌ද කියන එක පිළිබඳව ජනතාවට ඒත්තු යාවි අනාගතයේදී.

සාකච්ඡා කළේ - දයා ලංකාපුර

No comments

Powered by Blogger.