Header Ads

විජේදාස බබාව බයකළේ 'කුරුමිණියා'ගේ සෝවාන් ගෝඨාද? දිළුම් අමුණුගමගේ හිට්ලර් ගෝඨාද? - සනත් බාලසූරිය

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස චුච්චං බබාට ගෝඨා අන්තිම නරක විදියට බැනවැදී ඇත!

ගෝඨා කතාකරපු වෙලාවේ මේ බබාට හිතුණේ 'එයා කතාකරන්නේ කතිකාවතක් ඇතිකරගන්ඩ වෙන්ඩ ඇති' කියලා ලු. (පව්, අහිංසකයා!) ඒත් කෙරුවේ 'ද්වේශයෙන්, වෛරයෙන්, ආවේගශීලීව වෙවුලමින් රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන තරම් පහත් මට්ටමකින්' බැන්න එකලු. මේක 'ඉතාම නරක දෙයක්'ලු.

මේ බැනවැදීම හෙළාදකිමින් ම, මේ ටිකත් නොකියා බැරි ය.

අනේ පව්! මේ විජේදාස බබාට ඇහැරිලා තියෙන්නේ දශක එකහමාරකට පස්සේය. මෙයා හිතං ඉඳල තියෙන්නේ, 2005 පටන් 2015 දක්වා ආරක්ෂක ලේකම් හැටියට ඉන්නා කාලයේ එයා කතාකළේ - වැඩ කටයුතු කළේ ලේකම් කෙනෙකුට ගැලපෙන විදියට කියලා වෙන්නට ඇතිය. 

බීබීසී මාධ්‍යවේදියකුගෙන් විලිලැජ්ජාවක් නැතුව "හූ ඊස් ලසන්ත" කියා අහනකොට, ෆෙඩ්‍රිකා ජෑන්ස්ට අසභ්‍ය වචනයෙන් බැනවදිනකොට මේ බබා ඒවා නෑහෙන ඉසව්වකට රහත්වෙලා හිටියා වන්නට ඇත‍. ඇමැතිවරුන්ද, මන්ත්‍රීවරුන්ද ඇතුළු අයියණ්ඩියගේ මුළුමහත් බත්බැල බලඇණියටමත් ලේකම් ගෝඨා ඇමතුවේ ඒ බාසාවෙන් බව විජේදාස බබා අහලා-දැකලාම නැතුවාවද්ද?

ගෝඨාගේ කුප්‍රකට මිග්-ගනුදෙනුව නම් දැවැන්ත වංචාව ගැන මෙයා හාංකවිසියක් දන්නේ නැත. බැසිල්ලාගේ ගෝඨලාගේ ඇමරිකන් සම්බන්ධය ඇතුළු බොහෝ අලුත් අලුත් දේ මේ හදිසියේ හීනෙන් ඇහැරුණු විජේදාස බබාට දැනගන්නට ලැබී ඇත. මිස්ටර් 20 පර්සන්ට් හැදූ පක්ෂයෙන් ඡන්දය ඉල්ලනකොට සිට ඇත්තේ හීනෙන් ඇවිදින විජේදාස කෙනෙකි.

මේ කියන්නේ වසර 13ක් පැරණි කතාවකි. 2008 වසරේ මැද භාගයයි. ආරක්ෂක ලේකම්ව සිටි මේ කියන ගෝඨා, මාත් පෝද්දල ජයන්තත් තමන් හමුවට කැඳවීය. (ඒ සම්පූර්ණ සිද්ධි දාමය වෙනම ලියාතැබිය යුතු කතාවක් මිස මෙහි එල්ලිය හැක්කක් නොවේ.) එදාත් ගෝඨා මේ විජේදාස බබා කියන විදියටම වෙව්ලුවේ ය. වෙව්ලීම නිසාම වචනද හිරවිය. ආරූඪයෙන් මෙන් වෙව්ලන ගෝඨාගේ ගෙරවිල්ලට අපි අපේම ආකාරයකට පිළිතුරු දුන්නෙමු. ඒ ඔහු මෙන් පරළව කෑ කෝ ගැසීමෙන් නොව, ඔහුගේ උද්දච්ච කෝපය සත පහකට ගණන් නොගනිමින්, කරුණු හා තර්කවලින් පමණක් පිළිතුරු දෙමින් හා නිසි අවස්ථාවේ ඔහු සමච්චලයට ලක්කරමිනි.

"මට මෙච්චර කාලෙකට කිසි කෙනෙක් මේ විදියට කතාකරල නෑ,"යි අපේ ස්වරය ඉවසාගන්නට බැරිවූ තැන ගෝඨා බෙරිහන් දුන්නේ ය. 

"තමුන්නාන්සෙට මෙහෙම කතාකරනව අහන්ඩත් ආස හිතෙන්ඩ ඇතිනෙ, ඒකනෙ තකහනියක් පණිවිඩ යවල අපිව ගෙන්නගත්තෙ, කවදාවත් කවුරුවත් නොකියපු ඒවා අහගන්ඩ!" අපි කීවෙමු. වචන හිඳුණු ගෝඨා ටික වේලාවකට කළේ වෙව්ලීම පමණි‍. (ඉන් අනතුරුව සිදුවූ සිද්ධි දාමය ද මේ කතාවට අදාළ නැති බැවින් දැනට බැහැර කරමි.)

ඒ නිකම්ම නිකම් ආරක්ෂක ලේකම් ගෝඨාය. 

මේ විජේදාස වැනි චුච්චං බබාලාගේම මුක්කු ගැසීමෙන් හදාගත් 20 සංශෝධනයත් ඇති, තුනෙන් දෙකත් ඇති විධායක ජනාධිපති ගෝඨා ය. හිට්ලර් වගේ වෙනකන් විජේදාසලාගේම පිලේ මන්ත්‍රී අම්බරුවන් බලාසිටින ගෝඨා ය‍. 

විජේදාස බබාට ඒත් පුදුමයිලු!

විජේදාස බබාට අපට කියන්නට ඇත්තේ මේ ඔබත් ඇතුළු තාන්න මාන්නවලට, බලයට හා මඩි තරකරගැනීමට කෑදර, ඒ වෙනුවෙන් රජ පවුලකට වහල්කම් කරමින් ඉන්නට ආසාකරන දේශපාලක-හොර-මැර නඩයක් එකතුව වඩම්මාගෙන ආ මැරවරයාගේ සැබෑ ස්වරෑපය බව ඔබත් හොඳින්ම දන්නා බවය‍.

ඒ මොනවා වුවත්, 'ජනාධිපති කෙනෙක් මේ විදියට තර්ජනය කරනකොට ජීවිතය ගැන අපට බයක් ඇතිවෙනවා, අපේ දරුපවුල් ගැන අපට බයක් දැනෙනවා' කියා ඔබ කියන එක අමූලික ඇත්තකි‍. එය අවංක ප්‍රකාශකැයි උපකල්පනය කරමින්, අපි ඔහුගේ තර්ජනය පිළිකුලෙන් හෙලාදකින්නෙමු. තමන්ගේම පිළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඉරණම මෙය නම් ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය කුමක්දැයි දැන්වත් තේරුම් ගැනීමට මෙය කාටත් හොඳ අවස්ථාවක් බවද සටහන් කරන්නෙමු.

එහෙත් මීට එල්ලවන විරෝධයෙන් ඇත්තටම පලක් වන්නේ ඔබේ මේ තේරුම්ගැනීම තාන්න මාන්න නැති නිසා, ආණ්ඩුවේ තැනක් නැති නිසා ගසන වංචාකාරී ගේමක් හෝ ඉදිරියේ ඇතිවිය හැකි ආණ්ඩු විරෝධයක් වේලාසන ගසාකෑමේ කූට 'රාජපාක්ෂික' ජාවාරමක් නොවනවානම් පමණි‍.

කොතරම් අවිශ්වාස සහගත වුවත්, ඇමති කට්ටකට හෝ වෙනත් කිසියම් අල්ලසකට ඔය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් ඉතා අගනා බව ද අවසන් වශයෙන් කියමු.

සනත් බාලසූරිය - 

Sanath Balasooriya

No comments

Powered by Blogger.