Header Ads

සමන්ත විද්‍යාරත්න. සක්‍ර දෙවියන් ප්‍රමුඛ දේව සභාවට ලීයු ලියමන


 2021 අගෝස්තු 24

බදුල්ලේදීය.

ලිපි අංක 1

මහා සක්‍ර දිව්‍යරාජයානන් ප්‍රමුඛ දේව මණ්ඩලයේ සියලුම දෙවිවරුන්ට ගෞරවයෙනි,

සෙත් වේවා !!

මෙම ලිපිය ඔබ වහන්සේලාට යොමු කිරීමට අප කල්පනා කළේ අපගේ මාතෘ භූමිය බලවත් ඛේදවාචකයකට ගොදුරුව ඇති මොහොතක , අපේ මාතෘ භූමියත් මෙහි වෙසෙන ජනතාව ඇතුළු සියල්ලත් ඔබ වහන්සේලා වෙත වර්තමාන රජය විසින් භාර කර ඇති බැවින්,  ඔබ වහන්සේලාට හැර අපට අන් අයෙකුට මේ දුක්ගැනවිලි කීමට දැන් හැකියාවක් නොමැති බැවිනි.

මෙතෙක් කල් මහජනතාවගේ ගැටලු අපද යොමු කරනු ලැබුවේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට,  හා අමාත්‍යවරුන්ටය. නමුත් මේ වර්තමාන රජය විසින් ඔවුන්ට මේ රටේ ජනතාවගේ ප්‍රශ්නත්,  රටේ ප්‍රශ්න විසඳීමට නොහැකි බැවින්, සක්‍ර දෙවියන් ප්‍රමුඛ දෙවියන්ට මේ රටත්, ජනතාවත් භාර කරන බවට ‍ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් පවත්වා දෙවිවරුන්ට මෙන් ම රටවැසියන්ටද දන්වා සිටින ලදී.  එබැවින් දැන් මේ රටේ සියලු ප්‍රශ්න වලට ඇහුම්කන් දීමේ හා විසඳීමේ වගකීම ඔබ වහන්සේලා වෙත පැවරී ඇති බව කාරුණිකව පෙන්වා දීමට කැමැත්තෙමි. 

කුණු වී ඔද්දල් වී ඕජස් ගලමින් තිබූ ප්‍රශ්න කන්දරාවක් විසඳීමට එඩිතර කාර්යශූර වංචාවෙන් දූෂණයෙන් තොර උගත් හා වියතුන්ගෙන් බහුල සෘජු තීන්දු ගනු ලබන නායකත්වයකට මේ රට බාර දෙන්නැයි වර්තමානයේ ආණ්ඩුවකරණ රාජපක්ෂවරුන් ඇතුළු පිරිවර මේ රටේ ජනතාවගෙන් පසුගිය මැතිවරණවලදී වරමක් ඉල්ලා සිටියේය. 

මෙවැනි රටක් ගොඩනැඟීමට සාමාන්‍ය බලයක් ප්‍රමාණවත් නොවන බවත් තුනෙන් දෙකේ බලයක් ලබා දිය යුතු බවත්, ජනාධිපතිධූරයට නන්දසේන රාජපක්ෂ  පත් කළ දිය යුතු බවත්, ඔවුන් පැවසූ බස් විශ්වාස කළ අපේ රටේ බහුතරයක් ජනතාව ඉතිහාසයේ පරිදිම ඔවුන්ට බලය ලබාදීම සඳහා පෙළ ගැසිනි. ගෞරවණීය මහා සංඝරත්නය හා උගතුන් වියතුන්ද කලාකරුවන් ද ඇතුළු විශාල බලවේගයක් ඔවුන් විශ්වාස කරමින් මහා බලවත් ආණ්ඩුවක් ගොඩ නැගුවේය. මේ සඳහා ඔබ වහන්සේලා දායක වූයේ දැයි අප නොදනිමු. 

විධායක ජනාධිපති ධූරය නන්දසේනට  ලබා දුන්නේය, තුනෙන් දෙකේ ආණ්ඩුවක් ඉල්ලූ පසු එයද  ලබා දුන්නේ ය. ජනාධිපතිගෙ බලතල ප්‍රමාණවත් නොවන බැවින් විසිවෙනි සංශෝධනය සම්මත කර දෙන ලෙස ඉල්ලීය. එයද ඉටු කර දුන්නේ ය. පසුගිය කාලයේ රට අගාධයට ගියේ රටේ ජනාධිපති සිරිසේන  හා අගමැති වික්‍රමසිංහ අතර තිබූ නොගැලපීම් හා විරසක භාවයන් හේතුවෙන්  ජනාධිපතිවරයාට ගැලපෙන අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීමට ඉඩ ලබා දිය යුතු බව රාජපක්ෂවරු පැවසීය. ඒ අනුව මල්ලි ජනාධිපති වී එක කුස උපන් අයියා අගමැති වී ලොකු අයියා ද ඇමැති වී අයියලාගේ පුතාලා බෑනලා ලේලිලා ඇමතිවරු කර රට ගොඩනැගීමට අවශ්‍ය උපරිම බලයක් ලබා දුන්නේය.

රාජ්‍ය පරිපාන නිලධාරීන් මේ ආණ්ඩුව කරගෙන යාමට සමත්කම් දක්වන්න අඩුවෙන් බැවින් ඔවුන්ගේ දරන තනතුරු නන්දසේන මහතාගේ 

හිතවත් ආරක්ෂක ප්‍රධානීන්ට ලබා දිය යුතු බව ද කීවේය .

ඒ අනුව අමාත්‍යංශ ලේකම් තනතුරු සංස්ථා සභාපති කම ආයතන ප්‍රධාන තනතුරුද විශාල ප්‍රමාණයක් නන්දසේන ගේ සිතැගි පරිදි ලබා දෙන දෙස බලා පරිපාලන නිධාරින්ද බකන් නිලාගෙන සිටියේය.  

මිනීමැරුමකට වරදකරු වී මරණීය දණ්ඩනයට ලක් වී,  අධිකරණ  තුනකින්ම එම දඬුවම ලබාදිය යුතු යැයි නැවත නැවත තහවුරු කළ නන්දසේන මහතා ඇතුළු ආණ්ඩුවේ හිතවතෙකු වූ දුමින්ද සිල්වා නිදහස් කර ලෝකයේ කිසිදු රටක් නොකල වැඩක් වූ,  ප්‍රධාන ආයතනයක සභාපති ධූරය ලබා දිය යුතු යැයි කීවේය. එයද ලබාදීමට ඉඩ දී ජනතාව ඉවසා සිටියේය. 

ඛනිජ තෙල් ඇමති ගම්මන්පිල තෙල් මිල වැඩි කළ විට මොළයක් නැති හෝ තනි මොළයක් ඇති ඇමතියෙක් නිසා ජනතාවට මෙලෙස බර පැටවූ බවත් ඒ නිසා මොල නැවක්, ඇති මොල හතානො වූ ඇමරිකන් පුරවැසි බැසිල් රාජපක්ෂ සහෝදරයාට මුදල් ඇමැති ධුරය ලබා දීමට ඉඩ දිය යුතු යැයි පැවසීය. ඊට ද ඉඩ ලැබුණි. මේ කී නොකී සියළු බලයන් ලබාදී ජනතාව එක රටක් එක නීතියක් සෞභාග්‍යමත් රටක් ගොඩ නගතියැයි බලාපොරොත්තු විණි. 

අනේ දෙවියනි ආණ්ඩුව තනා වසරක් නික්මෙන විට ආණ්ඩුව තැනීමට මුල් වූ අය පවා ආණ්ඩුවට මේ වන විට දෙස් දෙවොල් තබමින් අම්මලා අප්පලා සිහිකරමින් සිටී . ගෞරවනීය දෙවිවරුනි, දැන් රටේ ජනතාව කියනුයේ සර් ෆේල් බවය. ඒ හඬ ඔබගේ දිවිය ලෝකෙට ද ඇසෙනවා නොඅනුමානය. 

මේ වන විට රට හතර කොන ඇවිලුණු විලක්කුවක් වැනිය. ගොවියන්, ධීවරයන්,  ගුරුවරුන්,  සුව සේවකයන්,  ඇතුළු කම්කරුවන් දෙනවා කියපු දේ ඉල්ලමින් ද, තමන්ගෙන් උදුරා ගනු ලබන දේවල්වලට එරෙහි වෙමින් ද, ජීවත් වීමට අපහසු බැවින් සහන ඉල්ලමින් ද හඬමින් දොඩමින් වේදනා බරිත ව සිටී. පාස්කු ප්‍රහාරයේ  මහ මොළකරුවන් අල්ලා දඬුවම් දෙන බව කීවත් මෙතෙක් දුන් දඬුවමක් නැත.  ඊට ගොදුරු වූ මිනිසුන් මහමග මියගියවුන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස හඬ තලයි. මහබැංකු හොරුන්ට දඬුවම් දෙන බව කීවත් එම හොරුන්ද නිදැල්ලේ සැරිසරයි. කලකිරීම දවසින් දවස ඔබ වහන්සේලාගේ බවන තිබෙන මහමෙර පරදවමින් උසට උසේ වැඩෙමින් තිබේ. කොරෝනාව මැඩ ගැනීමට නොහැකි වූ පාලකයන් කොරොනාව ගරාණානාවක් කරගෙන,  වසංගතය වසන්තයක් කරගෙන සිටින මොහොතක රට තවත් විශාලා මහනුවරක් බවට පත්වෙමින් තිබේ.

ජනතාව රටපුරා දෙස් දෙවොල් තබති. ජීවිතේ ඉල්ලා හඬ නගති. 

රටේ ආණ්ඩුව ගැන තවදුරටත් විශ්වාසයක්,  පිළිගැනීමක්, ජනතාව ට නොමැති තත්වයකට පත්වී තිබේ. ආණ්ඩුවක් ගත යුතු තීන්දු වෘත්තීය සමිතිය හා වෙළඳ සංගම් ගනිමින් සිටී. එවන් මොහොතක මෙවැනි අසරණ වූ රජයක ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට දෙවියන් ගේ පිහිට පමණක් ඉතිරිව ඇත. එබැවින් මේ බලය ගෞරවනීය දෙවියන්ට පැවරීම හැර ඔවුන්ට ද වෙනත් විකල්පයක් නොමැති බව මා හට නම් තේරේ. එවන් මොහොතක මේ රාජපක්ෂ ආණ්ඩුව  ජනතාව හා රට දෙවියන්ට භාර කළේය.

ගෞරවනීය දෙවියෙනි, මේ රටේ ජනතා බලයෙන් පත්වූ සියලු ආණ්ඩු මේ රට හපයක් කොට බොහෝ විනාශ කර අවසාන මරණ මංචකේ තිබෙන විට ඔබ වෙත භාර දී තිබේ. ඔබ වහන්සේලාට මහා බලයක් ඇතැයි රටේ බොහෝ ජනතාවක් විශ්වාස කරයි. එබැවින් මේ රට ඔබවහන්සේලාට ගොඩ නඟතහැකියයි  රටේ ජනතාව ද විශ්වාස කරනු ඇත. 

දෙවියෙනි කාරුණික මෙ වදන් අසන්න , මෙතුවක් කල් සිටි පාලකයන් සියල්ල ෆේල් උන අතර ඔබ වහන්සේලා ද ෆේල් නොවීමට වග බලා ගනු ඇතැයි අප උදක්ම විශ්වාස කරමු. එසේම අවුරුදු හැත්තෑ තුනක් ජනතා ඡන්දයෙන් පත්වූ අපේම රටේ පාලකයා විනාශ කළ මේ රට දෙවියන් වන අපටවත් ගොඩගැනීමට බැරියැයි වගකීමෙන් බැහැර වී තවත් යකුන් වෙත භාර නොදෙතැයි ද අපි දැඩි ලෙස විශ්වාස කරමු. 

දැන් මේ රටේ පාලකයන් ඔබ බැවින් කඳු ගැසී ඇති ජනතා ප්‍රශ්න ඉදිරියේ දී මෙලෙස ලිපි මගින් දෙවියනි ඔබ වෙත දන්වා සිටීමට මා බලාපොරොත්තු වන අතර මේ මගේ පළවෙනි ලිපිය බව කරුණාවෙන් සලකන්න. ගෞරවනීය ඔබවහන්සේලාට  දෙවිපිහිටයි ! 

මෙයට,

හිතවත්

ශ්‍රී ලංකාවේ පුරවැසි, 

සමන්ත විද්‍යාරත්න.

No comments

Powered by Blogger.