Header Ads

මරණ තුනක් ඇති මිනිසා

සිංහල සුභාවිත ගී මංසල තුළ අමරණීය මතක සටහන් තැබූ පිරිස් අතුරින් රන්බණ්ඩා සෙනෙවිරත්නයන් මෙන්ම ලුෂන් බුලත්සින්හලයන්ට හිමි වෙන්නේ අද්විතීය තැනකි.
මිනිස් ජීවිතය දෙස ඇස නොගැසුණු ඉසව් සොයා ගවේෂණාත්මක ලෙස පද්‍යකරණයේ නියැලුණු විරල ගනයේ පදරචකයන් දෙපලක් ලෙසද හැඳින්වීම අසාධාරණයක් නොවන බව මට හැඟේ. රන්බණ්ඩා සෙනෙවිරත්න ඔහු ගේ “ළඳුනේ “ගීතය තුළ මෙසේ ලියන්නේය

ලය පමණක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ළඳුනේ …..

කප්පරක් වැරදි සිදුවන සමාජයක, ඒ සමාජයේම පිරිස් විසින් පිළිකෙව් කරන තවත් එක් මනුෂ්‍ය ආත්මයක් දෙස සැබෑ මිනිසෙකු ලෙස බලන ආකාරය අපට ඔහු පෙන්වයි . ලුෂන් බුලත්සිංහලද සෞන්දර්යයේ රීතින් අතික්‍රමණය කරමින් මිනිස් ආත්මයට කිඳා බසින්නේ අපගේ හදවත් මොහොතකට නතර කරමින්ය. එයයි නිර්මාණකරුවෙකුගේ කලාකරුවෙකුගේ සැබෑ පෞරෂත්වය.

ලුෂන් අතින් ලියවුනු මේ ගීතයේ යොදා ඇති උපමා රූපක මෙන්ම ඉපැරිණි සාහිත්‍යයේ ඇති සියුම් තැන් ආභාෂයෙන් ලබාගත් දැනුම , මිනිස් සිතේ ගැඹුරුම පතුලින් නැගෙන හැඟීම් පිළිබඳව උද්දීපනය කිරීමට යොදාගෙන ඇත. ගීතයට ප්‍රවිෂ්ඨය තබන්නේ පැරණි ජනකවියකින් මතුවන චිත්ත රුපකයකින්ය .

” වනේ ගිජිදාය දුටුවොත් වනසාය

ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය

අතකින් කරවැලකි අතකින් දඬුබෑය

මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය ”

මේ ගීතය රසවිඳීමට නම් අපට උපකල්පන යොදාගත යුතුමය . එය ගීයේ යතාර්තයට වඩා උචිත ප්‍රවේශයක් වනු ඇත. සමාජයේ අප බොහෝ විට වැඩිහිටියන්ගේ තිරිසන් ආශාවන් වෙනුවෙන් හිරිමල් කැකුළු බිලිගන්නා පුවත් නොඇසෙන දවසක් හෝ වෙලාවක් නැති තරම්ය. මේ ගීය තුලින් කියවෙන්නේ පාසලක සංගීත ගුරුවරයෙකු යයි සිතන්න . තමාගෙන් වෙණ වැයුමට පැමිණෙන හිරිමල් යුවතියදෙස රාගයෙන් මුසපත්වූ නිරුවත් වූ දෑසින් බලන ගුරෙකු දෙස ලුෂන් දකින්නේ මෙලෙසය …

” මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා ..බලාසිටී …

නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී …

ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී

පයෝදර තුඩු ඉකිබිඳිද්දී …සන්තාශයෙන් …”

මේ මිනිසා ඉදිරියේ ඇත්තේ මරණ තුනකි. තමා , බිරිඳ හා දරුවන්ය . මොහු විවාහක පියෙකි. තමන්ගේ ආත්මය තුල සැරිසරන රාගික සිතුවිලි මෝහනය වන්නේ තම ගෝලයාගේ වීණාවෙන් නැගෙන මධුර ස්වරයෙනි. ඔහුගෙන් නැගෙන අසංවේදී සුසුම් පොද වීණාවේ රිද්මය පරයා නැගී ඒ…යතාර්ථයට අනුව අති අමානුෂික සිදුවීමකට ඉස්මත්තේ සිටිමින් ලුෂන් වඩා ඉස්මතු කරන්නේ මිනිසාගේ සිතය. මේ ගීය පියදෝර් දොස්තොව්ස්කිගේ පොතක් බඳුය. තම දියණිය විය යුතු හිරිමල් කැකුල ඔහුගේ නග්න වූ ආශාවන් ඉදිරියේ මෝහයෙන් අන්ධවී ඇත. වීණාවේ තත් අතර වේගයෙන් දිවයන සියුමැලි අතැඟිලි ඔහු ගේ වත ස්පර්ශකරන්නාක් මෙන් දැනෙනු ඇත. තව තවත් වයන්න …කන්‍යාවී ….අසන්වාදී රිද්මයෙන් ….යැයි ලියවෙන්නේ ඒ නිසා විය හැක.

” නියඟලා මල් පාට දේදුනු

දෙබෑ කරගෙන එනු …ගිරා පොව්වන්

පියුම් කැකුලක් තුඩින් පාරා

බලෙන් පුබුදන හංසයා …..

බලන්න නිරුවත් දෑසින් .”

මේ පදපෙලට නියඟලා මල උපමා රුපකයක් ලෙස යොදාගැනීම උචිතය . මලක් ලෙස නියඟලා කෙතරම් සුන්දරද ? ඒ මල රෝපණය වෙන බිම්ගත අලය කෙතරම් විෂ ගෝරද ? රාගය තුලින් මතුවෙන සිතුවිල්ල කවියා දකින්නේ පාට දේදුන්නක් ලෙසය. ඒ සුන්දර දසුන දෙබෑ කරගෙන මතුවන්නේ නියඟලා මලින් හොට රතු කරගත් ගිරවුන්ය. මෝහයෙන් අන්ධකාර වූ ඔහුගේ මනස සීමා පවුරු බිඳ දමමින් මිනිසත් කම කෙළසා දමන ආකාරය ලුෂන්ගේ සෞන්දර්යාත්මක මනස තුල මැවෙන්නේ මෙලෙසය. හංසයෙකුට නෙලුම් කැකුලක් තම තුඩින් පාරා බලෙන් පුබුදුවාලිය හැකිද යන්න ඔහු ප්‍රශ්න කරයි . . සන්තාශයෙන් ඉකිබිඳින නව යොවුන් වියට එළඹෙන දැරිය මේ අනපේක්ෂිත සිදුවීම ඉදිරියේ අසරණය.

“ඔකඳ වී රිද්මයෙන්

රසා තලය කල එලි ගන්වා

වයන්න වීණා …කන්‍යාවී ….”

තම ලෞකික ආශ්වාදයන් පිරිමසා ගැනීමට , මිනිසාගේ සියලු බැඳීම් නිමේෂයකින් සිඳ දමන ආකාරය මේ ගීය තුල සිත්තම් කර ඇත. මෙවන් සිදුවීම් මේ ජරාපත් , වියපත් සමාජය තුල අපගේ දෑස් පෙනෙන මානයේ කොතෙක් නම් දිස්වී ඇතිද? මේ රටේ පාසල් තුල ගුරුවරුන් අතින් කෙතරම් සිසුසිසුවියන් කෙළසී ඇතිද ? ඒ පිළිබඳව සමාජය තුල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇතිද ?

ලාංකේය සංගීතයේ කඩතුරාවන් විවර කළ ගාන්ධර්වයා වූ ප්‍රේමසිරි
කේමදාස මේ ගීය වෙනුවෙන් තමාගේ ප්‍රතිභාව නොපිරිහෙලා ඉටුකර ඇත. අමරසිරි පීරිස් ගේ මෝහනීය හඬට කෙතරම් වටිනාකමක් ගෙනාවාද යත් ” සිරිමැදුර ” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ මේ ගීයට 1989 සරසවි සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් “වසරේ හොඳම ගායකයා ලෙසද පිදුම් ලැබීය.

– චූලක බණ්ඩාරවත්ත –

ඉතින් රස විඳින්න මේ ගීය

1 comment:

  1. සන්තාශයෙන්???????????????

    ReplyDelete

Powered by Blogger.