Header Ads

සිංහරාජ වනයේ ජලාශ ඉදිකිරීම පසුපස ඇති රාජපක්ෂ ව්‍යාධිය කුමක්ද..? - පාඨලී චම්පික ‍රණවක

සිංහරාජයේ ජලාශ දෙකක් තනා හම්බන්තොටට ජලය දීමට චීන සමාගමකට ඉඩදී ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. මෑතකදී ලංකාගම සිදුවූ මාර්ග සංවර්ධනය ගැමියන් සඳහා නොව හුදෙක්ම මෙම කොන්ත්‍රාත්කරුවන් උදෙසාම සිදුවූවක් යැයි දැන් ඇතැමුන් ප්‍රකාශ කරති.

ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

මේ නම් චීන සමාගමක් හරහා ගිං-නිල්වලා ගංගා වල ජලය ජලාශ වල රඳවා උමං මගින් හම්බන්තොටට ගෙනයෑමේ පැරණි ව්‍යාපෘතියටමය. 2015 ජනාධිපතිවරණයට පෙර භාණ්ඩාගාරය රුපියල් මිලියන දහස් ගණනක් කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබාදුන්නේද මේ සදහාය.

යහපාලන සමයේද එක්තරා උපදේශකයෙකුට ඩොලර් මිලියන ගණනක සන්තෝසමක් දුන්නා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කළේද මෙම ව්‍යාපෘතිය සඳහාමය. ඒ වංචා දෙක සඳහාම අද දක්වා ගත් පියවරක් නැත.

හම්බන්තොට වරාය, ගුවන්තොටුපොළ අක්කර 20,000 මහා කර්මාන්තපුරය ගැන 2005 සිට මේ දක්වා එක හඩට ඇසෙමින් ඇත. එයින් වරාය, ගුවන්තොටුපොළ ඉදිවූ අතර හම්බන්තොට සහ කොළඹ යා කරන අධිවේගී මාර්ගයක්ද ඉදිවිය. (එයට ඩොලර් බිලියන 4 ක් නොහොත් රුපියල් බිලියන 800ක් ජාතිය හතර අතට ණය වී ඇත. එනම් සෑම පුද්ගලයෙක්ම රුපියල් 40,000ක ණයකාරයින් බවට පත්කර ඇත. නමුත් මේ ව්‍යාපෘති මගින් හරිහමන් මුදලක් මෙතෙක් උපයා නැත.)

හැමදාම ඇසූ ප්‍රශ්ණය වනුයේ මේ සංවර්ධනයට අවශ්‍ය ජලය, විදුලිය හා අපද්‍රව්‍ය කළමනාකරණය හා වනසත්ව ආරක්ෂණ ක්‍රියාවලිය කුමක්ද යන්නය.

ජලය සහ විදුලිය සඳහා යෝජනා කිහිපයක් විය.

1. උමා ඔය මහවැලියට නොයවා හම්බන්තොටට හැරවීම. (එය සිදුවිය)

2. ගිං- නිල්වලා ගංගා ඒවා ආරම්භ වන සිංහරාජ මායිමෙන්(මුහුදු මට්ටමේ උස සළකා) ජලාශ ඉදිකර හරස් කර උමං මඟින් ජලය මැදමූලනට සහ හම්බන්තොටට ගෙනයාම.

3. කළු ගඟේ අතු ගංගාවන් හරස් කර (කුකුලේ ගඟ, වේ ගඟ) ඒවා උමං මගින් උඩවලව හරහා හම්බන්තොටට ගෙනයාම.

4. හම්බන්තොට වරාය ආශ්‍රිතව ගල් අඟුරු හෝ ගෑස් බලාගාරයක් තනා එහි අපතාපය(Waste heat) හරහා මුහුදු වතුර පිරිසිදු මිරිදිය බවට පත් කිරීම (Desalination).

මගේ අදහස නම් හතර වන විකල්පය වඩාත් සුදුසු විකල්පය බවයි. රාජපක්ෂවරු වෙසෙන හම්බන්තොට ගල් අඟුරු සහ වෙනත් තාප බලාගාර සඳහා ඉතා සුදුසු වුවද, තම ගමේ "පරිසර විනාශය" "වායු දූෂණය" සළකා ඔවුන් ඒවාට එරෙහි විය.

හම්බන්තොට ජනයාගේ පානීය ජල ප්‍රශ්ණය සඳහා කටුවන- උඩුකිරිල්ල වැව ව්‍යාපෘතිය, උඩවලව- වෙහෙරගල- ලුණුගම්වෙහෙර ව්‍යාපාරය, උමා ඔය හැරවීමේ ව්‍යාපෘතිය හා තවත් සිය ගණනක් වැව් ප්‍රතිසංස්කරණය කිරීම හොඳටම ප්‍රමාණවත් ය.

ප්‍රශ්ණය ඇත්තේ හම්බන්තොට චීන ආයෝජන වලින් ඉදිවන කර්මාන්තපුරයට කාර්මික ජලය සැපයීම පිළිබඳවය. සිංහරාජයේ ජලාශ හදන්නේ එයටය.

සිංහරාජයේ ජලාශ තැනීමේ යෝජනාව යහපාලන සමයේද දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයෙන් ඉදිරිපත් විය. එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහද එකහෙළා විරුද්ධ වූ බව ඔවුන්ගේ ගෞරවය පිණිස කිව යුතුය. තවද වැදගත්ම දෙය නම් දේශීය ආයතනයක් වන මධ්‍යම ඉංජිනේරු කාර්‍යංශය(CECB) සිදුකල ශක්‍යතා අධ්‍යනයට අනුව මේ සිංහරාජ ජලාශ ව්‍යාපෘතියෙන් ප්‍රමාණවත් ජලයක් හම්බන්තොටට ලැබෙන්නේ නැති බවය. මේ සඳහා නව ශක්‍යතා අධ්‍යනය කර ඇත්තේ අදාළ විදේශීය ඉදිකිරීම් සමාගම විසින්මය. කිසිදු දේශීය ජල - වාරිමාර්ග විශේෂඥයෙක් මගේ දැනුමේ හැටියට එයට සම්බන්ධ වී නැත. මෙය අන්තිමට හම්බන්තොටට වතුරත් නැතිවෙන සිංහරාජයත් නැතිවෙන තවත් මෙගා ඩීල් එකකි.

යහපාලන ආණ්ඩුව මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කල විට (එය 2030 වනතුරු නොකර යුතුව තිබූ ව්‍යාපෘතියකි) ගොඩගමට ඔබ්බෙන් වූ "දන්දෙණිය" රක්ෂිතය කැපීමට යෝජනා විය. අධික වියදමක් දරා රක්ෂිත ප්‍රදේශයේ පාර ගුවන් පාලම් මඟින් ගෙනයාමට අගමැති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කළේය. එයින් සැලකිවයුතු ලෙස දන්දෙණිය රක්ෂිතය ආරක්ෂා විය. රාජපක්ෂලා හිටියා නම් දන්දෙණිය රක්ෂිතය මොරටුමුල්ලෙන් අවසන් ගමන් යනු ඇති බව සහතිකය.

සිංහරාජ ජලාශ වලින් පෙනීයන්නේ රාජපක්ෂලා කරන්නේ ගමට(හම්බන්තොටට) පමණක් නොව බාල ගණයේ විදේශීය කොම්පැනි වලටත්, තම පවුලටත් ලාභ ඉපයීම පමණක් බවය.

පාඨලී චම්පික ‍රණවක

No comments

Powered by Blogger.