Header Ads

රාජපක්ෂ ඡායාවට හසුවූ ඡායා කැබිනට්ටුව

1989 සිට 1994 දක්වා විපක්ෂයේ සිටි කාලයේ මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා කළේ, ජන ඝෝෂා කළේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදී සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වූ කුසල් පෙරේරා සමඟය. මහින්දට පාද යාත්‍රා කරන්න, ජනඝෝෂා කරන්න උපදෙස් දුන්නේ කුසල්ය. කොටින්ම කියතොත් මහින්ද වීදි සටන්කාරයෙක් කළේ ඔහුය. 1994 පොදු පෙරමුණ දිනල මහින්ද කම්කරු අමාත්‍යාංශයේ දිවුරුම් දෙන්න යන දවසේ කුසල්ටත් ගෙදර ඇවිත් කිරිබත් කන්න මහින්ද ආරාධනා කර තිබිණි. කුසල් මහින්දගේ ගෙදරට යද්දී වෙනදා නොදකින පිරිසක් කෑම මේසයේ වාඩි වී සිටියහ. ඔවුන් බොහොමයක් මහින්දගේ ඥාතීන්ය. මුලසුනේ සිටියේ බැසිල් රාජපක්ෂය. කුසල් එන විට බැසිල් ඇතුළු පිරිස කුසල්ට කෑම මේසයට ආරාධනා කළේ මහින්ද ලැහැස්ති වෙනවා කියමින්ය.


"කුසල් මහින්ද අයියව මෙතැන්ට ගේන්න ඔයගොල්ලෝ ලොකු වැඩක් කළා. ඒත් දැන් මහින්ද අයියා ආණ්ඩුවක ඇමැතිවරයෙක්. ඉස්සර වගේ දැන් වැඩ කරන්න බැහැ. මහින්ද අයියා වෙනම කාර්යාලයක් හදාගන්න ඕනෙ. මිනිස්සු හම්බ වෙන්න ඇපොයින්මන්ට් දෙන්න ඕනෙ. ඔයගොල්ලොත් එයාට කියන්න...."
බැසිල් කියාගෙන ගියේය. බැසිල්ගේ කතාව හිතට ඇල්ලුවේ නැතිව කුසල් මහින්දගේ කාමරයට ගියේය. "ආ කුසල් අපි යමු නේ"දැයි කියමින් මහින්ද දිවුරුම් දීමේ උත්සවයට කුසල්ටත් ආරාධනා කළේය. මහින්ද කුසල් එක්ක එළියට එද්දී බැසිල් මහින්දගේ කාර්ය මණ්ඩලය හදන හැටි සාකච්ඡා කරමින් සිටියේය. මහින්ද මුකුත් කීවේ නැත. කුසල් මහින්දට සුබපතා යන්න ගියේ වෙන වැඩක් තියෙනවා කියමින්ය.


මේ පරණ කතාව මතක් වුණේ මහින්දවාදීන් හදපු ඡායා කැබිනට්ටුව ගැන ජවුසන් එක කියවද්දීය. මේ ඡායා කැබිනට්ටුව හදන්න මුල් වූ ඩලස් අලහප්පෙරුම මහින්දගේ ආණ්ඩු කාලයේ යෞවන කටයුතු ඇමැතිය. හැබැයි නාමල්ගේ තාරුණ්‍යයට හෙටක් ඩලස්ට යෞවන කටයුතු ඇමැතිකම කරන්න දුන්නේ නැත. ඩලස් නමට යෞවන කටයුතු වුණත් යෞවන ඇමැතිගේ රාජකාරිය කළේ නාමල්ය. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිත් වැඩ කළේ ඩලස්ට ඕනෑ විදියට නොව, නාමල්ට ඕනෑ විදියටය. ඡායා කැබිනට්ටුවේ මුදල් ඇමැති ධුරය දීලා තියෙන්නේ බන්ධුල ගුණවර්ධනටය. මහින්ද මුදල් ඇමැති කාලයේ මුදල් අමාත්‍යාංශය දිවෙව්වේ පී.බී. ජයසුන්දරට සහ බැසිල්ට ඕනෑ විදියටය. විමල්, චම්පික පමණක් නොව බන්ධුලද පී.බී.ව එළිපිට විවේචනය කළේ ආර්ථිකයයි ආණ්ඩුවයි දෙකම විනාශ කරනවා කියමින්ය. පී.බී. බන්ධුලලාව සත පහකට මායිම් කළේ නැත. ඔහු 'ඉයර්ස් සර්' කිව්වේ බැසිල්ටය. බන්ධුලලා ඒ කාලයේ පී.බී. බෙදන කෑම මේසයේ කටු ලෙවකාපු අයය. එහෙව් බන්ධුල රාජපක්ෂලා තමාට මුදල් ඇමැති ධුරය දෙයි කියල හිතනව නම් ලොකුම විහිළුව ඒකය. විමල් නිවාස ඇමැති වුණාට නිවාස හදන නාගරික සංවර්ධන අධිකාරිය දිවෙව්වේ ගෝඨාභයය. ඔහු මන්ත්‍රි කෙනෙක් හෝ ඇමැති කෙනෙක් නොවේ. ඒත් ඔහු වැඩ කළේ ඇමැති වගේය. විමල් හිටියේ ඔහුගේ නියෝජ්‍ය ඇමැති වගේය. චම්පික විදුලි බල ඇමැතිකම කරනවා රාජපක්ෂලා ඉවසුවේ නැත.

බැසිල් තමාගේ ගෝලයෙක්ව ඇමැති ලේකම් කළේය. චම්පික ලේකම් එක්ක හැප්පෙනවිට බැසිල් තමාට හසුරුවන්න පුළුවන් පවිත්‍රාට ඇමැතිකම දුන්නේය. වෙනකක් තබා රාජපක්ෂලා මෛත්‍රිපාලට වැඩ කරන්න දුන්නේත් නැත. මෛත්‍රිගේ අමාත්‍යාංශ ලේකම්ව අල්ලාගෙන මෛත්‍රිගේ තටු කැපූහ. උදය ගම්මන්පිලට ලැබිලා තියෙන්නේ නීතිය සහ සාමය ඇමැති ධුරයය. මහින්ද මේ පාර දින්නොත් ගෝඨාභයව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගේන එක ෂුවර්ය. ගෙනැල්ලා ආරක්ෂක අමාත්‍යාංශය භාර දුන්නම ගම්මන්පිලටත් කුසල් පෙරේරාව මතක් වනු ඇත. රාජපක්ෂලා හමුදාව සහ පොලිසිය භාරදෙන්නේ රාජපක්ෂලාට විතරය. ගෝඨාභය විතරක් නොව යෝෂිතත් පාර්ලිමේන්තු නොආවොත් පුදුමය. යෝෂිත ආවොත් යෝෂිතට ක්‍රීඩා ඇමැතිකම ෂුවර්ය. හේතුව මහින්දගේ ආණ්ඩු කාලෙත් ක්‍රීඩා ඇමැතිකම කළේ රාජපක්ෂ පුතුන්ය. ආර්ථිකය හදන්න භාරදී ඇත්තේ දිනේෂ්ටය. මහින්දගේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමැති ලෙස බැසිල් ප්‍රධාන පෙළේ අමාත්‍යාංශවල විෂයන් තමාගේ යටතට පවරාගෙන සිටියේය. යළි මහින්ද ආවත් ආර්ථිකය දුවවන්නේ බැසිල්ය. දිනේෂ් මේ ටික නොදන්නවාද නැති නම් දැනගෙන නොදන්නවා වගේ ඉන්නවාද දන්නේ නැත.


කෙසේ හෝ ඩලස් මුල්වෙලා හදපු ඡායා කැබිනට්ටුවට ඉස්සෙල්ලාම ගැහුවේ රාජපක්ෂලාට ඥාති වෙන්න ඉන්න ලොහාන් රත්වත්තේය. රාජපක්ෂ පවුල් සමාගමේ සාමාජිකයෙක් වෙන්න බලා ඉන්න ඔහුට තමාට දුන්න ඇමැති ධුරය මදි වී ඇතිවාට සැක නැත. අනෙක ලොහාන් ඡායා කැබිනට්ටුවට ගහල ඉටු කළේ රාජපක්ෂ පවුලේ වුවමනාවය. ඩලස් කොහොමද කැබිනට්ටු හදන්නේ යැයි බැසිල්ට කේන්ති යන්න ඇත. ගම්මන්පිලට කොහොමද පොලිසිය භාරදෙන්නේ යැයි ගෝඨාභයට යකා වැහෙන්න ඇත. මහින්ද ඡායා කැබිනට්ටුවෙන් ඉල්ලා අස් වූයේ පවුලේ බලපෑමට විය යුතුය. ඩලස්, බැසිල්ලා, ගෝඨලා, යෝෂිතලා නැතිව කැබිනට්ටුව හැදුවේ මහින්දව රාජපක්ෂ පවුලෙන් ගලවා ගන්න විය යුතුය. ඒත් ඡායා කැබිනට්ටුවෙන් ඉවත් වීමෙන් මහින්ද පෙන්නුවේ තමාගේ චරිත දෙකය. විපක්ෂයේ සිටියදී මහින්ද රඟපාන්නේ මන්ත්‍රිවරු එක්කය. හැබැයි බලයට ආ විට මහින්ද රඟපාන්නේ පවුල එක්කය. අද මහින්ද පස්සේ යන මහින්දවාදීන් බොහොමයක් මහින්ද ජනාධිපති කාලයේ පාර්ලිමේන්තු ලොබියේදී තානාපති කාර්යාලවල කොක්ටේල් පාටිවලදී රාජපක්ෂ පවුලේ පතුරු ඇරිය අයය. ඔවුන් හැමෝගේම චෝදනාව වූයේ එක්කෝ බැසිල් නැති නම් ගෝඨා එහෙමත් නැතිනම් නාමල් තමන්ට ඇමැතිකම කරගෙන යන්න දෙන්නේ නැති එකය. ඔවුන් හැමෝම හිතින් හිතුවේ මහින්ද 2015 ජනාධිපතිවරණය පරාජය විය යුතුයි කියාය. මහින්ද පරාජය වූවාට පසු ඔවුන් දැන් හිතන්නේ මහින්ද දැන් හැදිලා පවුල නැතිව තමන් එක්ක ආණ්ඩු කරයි කියාය. තමන් එකතුවෙලා මහින්දව දිනෙව්වොත් මහින්ද පවුල අතඅරියි කියාය. මහින්ද 2005 ජනාධිපති කළේ පවුල නොව මංගල, ශ්‍රීපති, ජ.වි.පෙ. සහ එල්.ටී.ටී.ඊ.යය. මොවුන් නැතිනම් මහින්ද ජනාධිපති නොවේ. මොවුන් රනිල්ව පරද්දන්න කාමරයේ සාකච්ඡා තියනකොට ගෝඨාභය ඉස්තෝප්පුවේ ඇවිද ඇවිද හිටපු හැටි කීවේ මංගලය. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී බැසිල් සහ ගෝඨාභය ඇමෙරිකාවට යන්න ටිකට් බුක් කරගෙන සිටි බව කීවේ ශ්‍රීපතිය. මහින්දව දිනෙව්වේ මොවුන් බව බැසිල් සහ ගෝඨාභය දැන සිටියහ. මොවුන් මහින්දව පාලනය කරන්න එයි කියල බයේ මොවුන්ට ගහල පන්නන්න මහින්දට ඉලපත දුන්නේ බැසිල් සහ ගෝඨාභයය. රාජපක්ෂ පවුල පළමුවෙන්ම කළේ මහින්දව බලයට ගෙන ආ පවුලට අයත් නොවන පිරිසට ගහල පැන්නීමය.
'මහින්ද යළි බලයට ආවොත් අද මහින්දව බලයට ගේන්න හදන මහින්දවාදීන්ටත් ඒ ටිකම වෙයිද?' ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මේ ඡායා කැබිනට් සිද්ධියෙන් කියන්නේ ඒකාබද්ධ විපක්ෂය අවුල් ජාලාවක් බවය. අර්ජුන් මහේන්ද්‍රන්ගේ සිද්ධියේදී රටේ පරිපාලනය අවුල් කී මහින්දට ඔහුගේ ගෝලයන්ව පාලනය කර ගන්න බැරි වී ඇත. මෛත්‍රි-රනිල් ආණ්ඩුව එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට අදිනවා කී මහින්ද ඡායා කැබිනට්ටුව පත් කර ගන්න බැරිව දෙපැත්තට අදියි. ඡායා කැබිනට්ටුව පත් කර ගන්න බැරිව බලයට ආ විට කැබිනට් මණ්ඩලය පත් කරගන්නේ කෙසේදැයි හිතාගත හැකිය.


කොහොම වුණත් ඡායා කැබිනට්ටුවෙන් සිද්ධ වූයේ 2015 ජනවාරි මස 08ට පසු අතුරුදන් වූ රාජපක්ෂ ඡායාව යළි කරළියට ඒමය. බලයට එන තෙක් මහින්දවාදීන්ට දේශපාලන කරළියේ තරු විය හැකි වුවත් බලයට ආ විට රාජපක්ෂ ඡායාවට මේ තරු වැසී යෑමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය රාජපක්ෂ ග්‍රහණයට හසු වන්නේ එවිටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.