Header Ads

පොඩි වාහනයක ගිහින් ජනතාවට වැඩ කරන්න බැරිද? කෝටි ගණන් ඒවම ඕනද?

Add caption
හිටපු ඇමැතිලගෙනුයි ඉන්න ඇමැතිලගෙනුයි ඇමැතිල වෙන්න ඉන්න අයගෙනුයි අහමු

පාක්ෂිකයො අපිට
නිකනුත් වාහන දෙනවා -නි. ඇමැති
රන්ජන් රාමනායක

ඇත්තටම පොඩි වාහනයක ගිහින් නම් අමාරුයි. මම කියන්නේ මරුටියක වගේ බෑ. ඩබල් කැබ් එකක් වගේ තියෙන්න ඕන. කොහොම වුණත් වාහනේ නම් කරන එක නම් එච්චර හොඳ මදි. ඒත් ජනතා සේවයට වාහනේ නම් ඒ තරම් වැදගත් නෑ. ජනතා සේවකයෝ හැටියට ඩොලර් 62,500ක වාහනයක් ගන්න මේ 225ටම පුළුවන්. අපේ පාක්‍ෂිකයොත් අපිට නිකන්ම වාහන දෙනවනෙ ගොඩක් වෙලාවට. මට නම් එහෙම ලැබෙනවා. ඡන්දෙන් දිනපු අය නිකන් පාරෙ ඇවිදින තත්ත්වයක් නෑනේ. සුපිරි වාහනයක අවශ්‍යතාවක් නෑ, ජනතා ආදරය තියෙනවා නම්. සමහරුන්ට නම් එහෙම නෑ. ඒකත් පිළිගන්න ඕන. ඩේවිඩ් කැමරනුත් තමන්ගේ බිරියට අරන් දුන්නේ ලක්‍ෂ 06ක විතර වාහනයක්. පාර්කින්වලටත් ලේසියිනේ සාමාන්‍ය වාහනයක් තියෙනවා නම්. මම නම් හිතන්නෙ සාමාන්‍යයෙන් ඩබල් කැබ් එකක්. ජීප් එකක් වගේ ලක්‍ෂ 75 ඉඳලා ලක්‍ෂ 120ක වගේ අතර ගාණකට ගන්න පුළුවන්. මම නම් එදා ඉඳන් පාවිච්චි කරන්නේ වෙන අමාත්‍යාංශයකින් හැක් කරපු පරණ ඍ 8 එකක්. ගරාජ් එකේ තිබිලා ගත්තේ. හද හදා පාවිච්චි කරනවා. ඇමැති කෙනකුට අර කලින් කිව්ව ගාණට වාහනයක් තිබ්බම හොඳටම ඇති.

මට නම්
ත්‍රීවීල් එකක්
වුණත් ඇති-නි. ඇමැති
පාලිත තෙවරප්පෙරුම

හරියට වැඩ කරනවා නම් වැඩක් කරන්න අවශ්‍ය වෙන්නෙ ව්‍යාපෘතියට අවශ්‍ය වාහන විතරයි. මට නම් ජනතාවට සේවය කරන්න සැප තියෙන වාහන ඕනෑ නෑ. මම බුලත්සිංහල ආසනයේ කරන නිවාස 400ක ව්‍යාපෘතියට මට ඕන බැකෝ එකක් තමයි. එතැනට යන්න නම් ත්‍රීවීල් එකක් තිබ්බත් ඇති. හොඳ වාහන දෙන්න ඕන අවශ්‍ය ආයතනවලට මිසක් ඇමැතිවරුන්ට නෙවෙයි. ඔන්න බලන්නකො දැන් ඔය හොඳ වාහන නෑ කියලා බෙල්ල උලුක් වෙනවා, අංශභාගෙ හැදෙනවා කියන අය හෙට පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තියනවා කීවොත් ෆුට් බයිසිකලෙන් ගිහින් හරි මිනිසුන්ගෙන් ඡන්ද ඉල්ලන්නෙ නැද්ද කියලා.

හැමෝටම දෙන්න ඕන එකම ජාතියෙ වාහන-නි. ඇමැති
එරාන්
වික්‍රමරත්න

රජයේ හරි පෞද්ගලික අංශයේ හරි වැඩ කරන නිලධාරීන්ට තමන්ගෙ රාජකාරිය හරියට කරන්න නම් වාහනයක් තියෙන්න ඕනෑ. ඇමැතිවරුන්ටත් තමන්ගෙ සේවය හරියටම මිනිසුන්ට ලබාදෙන්න නම් වාහනයක් තිබිය යුතුමයි. ආණ්ඩුව හැබැයි කරන්න තිබුණෙ තම තමන් කැමැති වාහනය මොකක්ද කියල ඇමැතිවරුන්ගෙන් අහන එක නෙවෙයි. ඇමැතිවරුන්ට ලැබෙන වාහන පර්මිට් එකට සරිලන වාහනයක් තෝරාගෙන, අවශ්‍ය ප්‍රමාණයට ඒ එකම වර්ගයේ වාහන ගෙන්වල ඇමැතිවරුන්ට දෙන එක.

ඕක මට අදාළ නෑනේ -ඇමැති
ජෝන් අමරතුංග

ඕක මට අදාළ නෑනෙ. ප්‍රශ්නය අදාළ වෙන කෙනෙක්ගෙන් අහගන්න.

සැප වාහන ඉල්ලන්නෙ සේවය කරන්න නෙවෙයි-මන්ත්‍රි
සුනිල්
හඳුන්නෙත්ති

ඇත්තටම ඇමැතිවරු සැප වාහන ඉල්ලන්නෙ සේවය කරන්න නෙවෙයි. ඒගොල්ලන්ට නැති පෞරුෂය පෙන්වන්නනෙ වාහන ඉල්ලන්නෙ. ගොඩක් ඇමැතිවරු කියන්නෙ සාමාන්‍ය වාහනවල ගියාම ගනන් ගන්නෙ නෑ කියලා. දැන් ඔය ගනන් ගැනීම පිළිබඳ ප්‍රශ්නය උඩනෙ සැප වාහන ඉල්ලන්නෙ. හැබැයි අපිට නම් මිනිස්සු ගනන් නොගන්න එක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි කොයි වාහනෙත් යනවා. බස් එකෙත් යනවා. ත්‍රීවීල් එකෙත් යනවා. බයිසිකලෙත් යනවා. තිබුණොත් වාහනෙන් යනවා. ජනතාවට කරන සේවය වාහනේ දිග පළලින් මනින්න බෑ. ඒ වගේම වාහනේ ගණනෙන්, ඉලක්කමෙන් වැඩක් නෑ. රජයේ තියෙන වාහන සංචිතයෙන් වාහන ගන්න පුළුවන්නෙ. ඇමැතිවරයෙක්ට වාහනයක් අවශ්‍යයි. හැබැයි වැඩ කරන්න නම් වාහන අත්‍යවශ්‍යම නෑ. ඔය හීනමානය පිළිබඳ ප්‍රශ්නය නැති කරන්නයි සැප වාහන හොයන්නෙ.

මරුටියක ගිහින් නම් ඕක කරන්න බෑ -හිටපු මන්ත්‍රි
කේ.ඩී.ලාල් කාන්ත

අපෝ..., කෝටි ගණන් වාහන නැති වුණාට ඇමැතිකම් කරන්න පුළුවන්. හැබැයි ලක්‍ෂ 15ක 20ක මරුටියක ගිහින් නම් ඕක කරන්න බෑ. අඩුම ගාණේ කැබ් රථයක්වත් ඕන. ඒක ලක්‍ෂ 15කින් 20කින් කරන්න බෑ. මෙහෙමයි ඉතිං, රටක් සංවර්ධනය වෙලා භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යන කාලයක නම් අතපය දිගහැරලා වියදම් කළාට කමක් නෑ. ජනතාවට පටි තද කරගන්න කියලා, භාණ්ඩාගාර සල්ලි නෑ කියලා, මහජනතාවට තමන්ගේ සල්ලිවලිනුත් වාහන ගන්න බැරි කරලා මැති ඇමැතිවරු කෝටි ගණන් වාහනවලට වියදම් කරන එක වැරැදියි. ජනතාවගේ භාණ්ඩගාරයේ මට්ටමයි මැති ඇමැතිවරු හිතන්න ඕන.

වළවල් තියෙන පාරවල යන්න
උස වාහනයක් ඕනෑ-මන්ත්‍රි
බන්දුල
ගුණවර්ධන

රටේ ඇමැති වරයෙක්ට විශ්වාසයෙන් යුතුව නියමිත වෙලාවට නියමිත ස්ථානයට යන්න හොඳ වාහනයක් තියෙන්න ඕන. අපේ කාලේ මීටත් වඩා අමාත්‍යාංශ ප්‍රමාණයක් තිබුණා. ඒ කාලේ ඕන තරම් වාහනත් තිබුණා. මම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඉන්නකොට වාහන 02ක් තිබුණා. ඒවා නිල රථ. ඒවයේ කිසිම අඩුවක් තිබුණේ නෑ. චෝගම් එකට ගෙනාපු වාහනත් අඩුපාඩුවලට දුන්නා. ආණ්ඩුවට අලුත් වාහන ගන්න ඕන වෙන්නේ නෑ. ඒ නිසා ලක්‍ෂ 15ක 20ක වාහන කියන්නේ ඉතිං ජීප් එකක් කැබ් එකක්වත් තියෙන්න ඕන. බදු නැති වුණාම ඒ ගාණමයි ඒවත්. බොරු කියන්න ඕන නෑ ඉතිං උත්සවයකට යනකොට අෑත ගමක වළවල් තියෙන පාරක යනකොට උස වාහනයක් ඕන. අධි සුඛෝපභෝගී ඒව නම් ඕන නෑ.

මගේ ජීප් එක
කැඩිලා: හදන්න මාසයක් යනවා -රාජ්‍ය ඇමැති
ඩිලාන් පෙරේරා

කොළඹ දිස්ත්‍රික්කයේ ඇමැතිවරයකුට මන්ත්‍රිවරයකුට අවශ්‍ය වන වාහනය නොවෙන්න පුළුවන් නුවරඑළිය, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කයක වැඩ කරන අමාත්‍යවරයකුට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අමාත්‍යාංශයේ විෂය අනුවත් එක් අමාත්‍යංශයකට ඕන වෙන වාහනය නොවෙන්න පුළුවන් අනිත් අයට අවශ්‍ය වෙන්නේ.
මේ රටේ පාර්ලිමේන්තු නියෝජිතයන් දේශපාලන වාසිය තකා කරන පුහුසෝබන පටු කතා නිසා ගරු මන්ත්‍රිවරුන්ගේ ගරුත්වයට හානි කර ගන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අවුරුදු පහකට වරක් වාහනයක් ඉල්ලන්න පුළුවන්. ඉල්ලුවේ නැතිනම් ලැබෙන්නේ නැහැ. එහෙම ඉල්ලන්නෙ නැතිව ඉඳිද්දී වාහන ඉල්ලලා මුදල් අනුමත වුණාම ප්‍රසිද්ධියේ කියනවා අපිට වාහන එපා කියලා. මෙහෙම වාහන එපා කියපු මන්ත්‍රිවරුන්ගේ පක්‍ෂ නායකයෝ තට්ටු දෙකක් තියෙන නිල නිවෙසට යන්නෙ නැතිව ඉන්නවා විදුලි සෝපානයක් නැහැ කියලා.
මං ගමන් කරන්නේ පහුගිය සන්ධාන ආණ්ඩුව කාලේ තිබුණ පරණ ජීප් එකේ. ඒ වාහනය ගිය මාසයේ කැඩුණා. අමාත්‍යාංශය කියනවා වාහනය හදන්න මාසයක් යනවා කියලා. ඒ මාසයේ මං ත්‍රීවීල් එකක හරි බස් එකක හරි යන්න ඕන. ඇමැතිවරයෙක්, මන්ත්‍රිවරයෙක් හොඳ වාහනයක් ඉල්ලුවොත් ඒවා මාධ්‍යවල රස කර කර යනවා. කවුරු හරි සරලව ජීවත් වෙනවා නම් ඒවා මාධ්‍යවලට පුවත් වෙන්නේ නැහැ. පෙරටුගාමී පක්‍ෂයේ අජිත් කුමාර කියලා මන්ත්‍රිවරයෙක් පාර්ලිමේන්තුවට ආවේ මෝටර් බයිසිකලයෙන්. ඒවා ගැන මාධ්‍ය වාර්තාවල පළවුණේ නැහැ. කවුරුත් දන්නවා බදුල්ලේ මං ඉන්න නිවෙස ගැන. ඒක මගේ මවුපියන්ගෙ ගෙදර.

ෆෝවීල් නැතිව ගමේ දුවන්නෙ කොහොමද? මන්ත්‍රි කුමාර වෙල්ගම

ජනතාවට සේවය කරන්න ඉතිං සාමාන්‍යයෙන් වාහනයක් ඕන තමයි. ඒක අපි පිළිගන්න ඕන. අපේ ගම්වල වගේ නම් ෆෝ වීල් වාහනයක් අවශ්‍ය වෙනවා. කෝටි ගණන්වලින් නම් මම දන්නේ නෑ. හැබැයි සාමාන්‍යයෙන් හොඳ වාහනයක් ඕන කරනවා. ඉන්දියන් වාහනවල නම් යන්න අමාරුයි. දුර යනවා නම් සාමාන්‍යයෙන් හොඳ වාහනයක් ඕන. අපිත් ඉස්සර ඔය තනතුරු කළානෙ. හැබැයි ලක්‍ෂ 60ක විතර ෆෝවීල් ඩබල් කැබ් එකක් තියෙනවා නම් හොඳයි. හැබැයි සුඛෝපභෝගී මහා විශාල වාහන නම් මේ වෙලාවේ ගන්න එක ඒතරම් සුදුසු වෙලාවක් නෙවෙයි. රට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීලනෙ ඉන්නේ. ඇමැතිලට නියෝජ්‍ය ඇමැතිලට යන්න වාහනයක්චතියෙන්න ඕන. අපිට පර්මිට් එකකුත් ආණ්ඩුවෙන් දීලනෙ තියෙන්නෙ. ඕනෙ නම් ඒකෙන් ටොයොටා ලෑන්ඩ් කෘෘසර් වගේ ලක්‍ෂ 450ක විතර වාහනයක් ගත හැකියි. ඒ වරප්‍රසාදය අපි 225ටම තියෙනවා. ඒකෙන් හොඳම එක තමයි ගෙන්වන්නේ. බොරුවට ඒකෙන් කවුරුත් ඩබල් කැබ් ගන්නෙ නෑනෙ. අපිට ඉතිං ජනතාවට සේවය කරන්න ඒවා නැති වුණාට සාධාරණ විදියේ වාහනයක් ඕන. පර්මිට් එකෙන එහෙම ගන්න පුළුවන් වුණාට ජනතාව අතරට යන්න නම් ඩබල් කැබ් එකක් ඇති.

ලක්ෂ 100ක වත් වාහනයක් ඕනෑ-නි. ඇමැති
නිශාන්ත
මුතුහෙට්ටිගම

වාහනේ ගණන කීයද කියන එක තීරණය වෙන්නෙ ඉල්ලන කෙනා අනුව. මගේ මතය නම් සාමාන්‍ය වාහනයකින් අපිට ඕක කරගන්න පුළුවන්. ලක්ෂ 25ක 30ක වාහනයක් නම් බෑ. හැබැයි ලක්ෂ 50ක 100ක වහනයක් නම් ඕනෑ. වැඩේට ගැළපෙන විදියට වැඩක් කරන්න පුළුවන්, ගමනක් බිමනක් යන්න පුළුවන්, ගමක දුෂ්කර පාරක යන්න පුළුවන් වාහනයක් තිබ්බම ඇති. මට දැන් තියෙන්නෙ සාමාන්‍ය ටොයොටා රථයක්. මට සැප වාහන ලැබිලත් නෑ. ඔය වාහන ඉල්ලපු ලැයිස්තුවෙත් මම නෑනෙ.

චාමිකා මුණසිංහ
රු කාරියවසම්

No comments

Powered by Blogger.