Header Ads

ජනමාධ්‍ය කලාව ගඳ ගැස්සු ජඩ මාධ්‍යවේදියෝ

"වේදය" යන්නෙහි අර්ථය වන්නේ දැනුමයි. නීතිවේදියා, සංගීතවේදියා, සුපවේදියා, වෛද්‍යවේදියා, පෝෂණවේදියා, අධ්‍යාපනවේදියා මෙන්ම ජනමාධ්‍යවේදියා ටද මේ "වේදියා" යන්න පට බැඳෙන්නේ එම විෂය සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් ඇතැයි යනුවෙන් උපලකල්පනය කරමිනි. ඉහතකී වෘත්තීන් අතරින් රටක ජනතාව නිවැරදි මගට ගැනීමේ උතුංග කර්තව්‍ය පැවරී ඇත්තේ ජනමාධ්‍යවේදියාටය. එය එසේ වුවද ලෝකයේ මෙන්ම අප රටේද ජනමාධ්‍ය යනු කුණු වී දුඟඳ හමන මජර සංස්කෘතියක් නිර්මාණය කරන ගාමක බලවේගය බවට වර්තමානයේ පත්ව ඇත.

රටේ දුෂණයෙන් ප්‍රහසනයෙන් පිරි ඇති දේශපාලනයට සමගාමිව, එයට උචිත ආකාරයෙන්ම ජනමාධ්‍යවේදීන් ද කටයුතු කරනු ලබයි.මේ රටේ සියලු මාධ්‍ය ආයතන වල හිමිකරුවන් වන්නේ හොර මැර කමින් පාලනය ගෙන යන සොරමුලේ අතිජාත මිතුරන් ය. මාධ්‍ය යයි රට්ටුන්ට පවසන මුත් එවන් ආයතන යනු දුෂිත පාලකයන් සුජාත කරන හොරනෑ බව පුන පුනා පැවසිය යුතු කරුණක් ද නොවේ. මේ කේෂ්ත්‍රයට අවතීර්ණ වන සියල්ලන්ටම ඌරන් සමග එක්ව එකට අසුචි වැළඳිය යුතුය. එම නරාවල ගඳයැයි පැවසීමට එකදු හෝ කොන්දක් ඇති වෘත්තීයවේදියෙකු හෝ ඉන්පසුව බිහි නොවේ. පාලක ඝාතකයන්ගේ නිරුවත පෙන්වීමට ඉදිරිපත් වූ කශේරුකාවක් ඇති සියල්ලෝම මේ වන විට අඩි පහක් යට බලහත්කාරයෙන් නිදි කරවා අවසන්ය.දැන් සිටින්නේ කුණු කන්නට කැමති, කුණු විකුණා සැප විඳින්නට කැමති, ජනතාව අතරමන් කරන්නට සූර නමට පමණක් පෙනී සිටින නෝන්ජලයන් පිරිසකි.

අපේ රටේ ජනමාධ්‍ය අයිඩෙන්ටිය එල්ලා ගත් පිරිස මුලින්ම සිදු කරන්නේ ඕනෑම ඇත්තක් බොරුවක් බවට පත් කිරීමය. ඕනෑම බොරුවක් ඇත්තක් කිරීමට කැමරාව හා පෑන මානමින් පෙරමග බලාසිටින්නේ කුමන මොහොතක හෝ රටේ සිදුවන ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක්, මිනීමැරුමක් හෝ රටේ නමගිය කෙනෙකු මඟුලක්, මළගෙයක්, උපන්දින පාටියක් හෝ කොටහළු මඟුලක් , පාතාලේ චන්ඩියෙකු ගේ හපන්කමක් ගොරක දඩමස් කරමින් රටවැසියාට ඉදිරිපත් කිරීමටය. පාලකයන් විසින් සිදු කරන මහා සොරකම් මිනීමැරීම් පැහැරගෙන යෑම් වැනි අපරාධයන් මේ මාධ්‍යවේදීන්ට කිසිදු ආකාරයෙන් වාර්තා නොවේ. පාලකයන් සහභාගී වන මල් පෙරහැරවල් , පරවියන් මුදාහැරීම් , පන්සල් වන්දනාව තම අඩවියේ ප්‍රමුඛතම පුවත බවට පත් කිරීම පරම යුතුකම සේ සලකයි .

අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය මෙසේ කුණු වී ඕජස් ගැලුවද, අසුව දශකයේ මේ රටේ මාධ්‍ය කරුවා ආණ්ඩු පෙරලා දැමු ගාමක බලවේගය බවට පත්ව තිබුණි. ඒ අතරින් දයාසේන ගුණසිංහ යනු තමන් නියැලුනු සියලු ක්ෂේත්‍රයන්හී අපූර්ව ප්‍රතිභාවක් පළ කළ මිනිසෙකි. ඔහුගේ සමකාලීනයන් ඔහු සිහි කරනුයේ මහත් ගරුත්වයකිනි. ඒ ඔහු අපට දායාද කොට තබා ගිය අති විශිෂ්ට මතක සම්භාරය තුලිනි. දිවයින ඉරිදා සංග්‍රහයේ කතෘ තනතුරට පත්ව තිබියදී , වරෙක තම කතු වැකිය තුලින් ජේ.ආර්. ජවර්ධන පාලනය දැඩිව විවේචනය කළේය. ජයවර්ධනට අභියෝග කරමින් රටක් පාලනය කිරීමට බැරිනම් රටකට ශාපයක් නොදී සිංහාසනයෙන් බැසයන ලෙස ප්‍රකාශ කළේය. එය එල්ලා අස්කරගන්නා ලෙස ආණ්ඩුවෙන් ආ පීඩනය හමුවේ උපාලි පුවත්පත් සමාගම ජේ.ආර්. ළඟ දනින් වැටෙද්දී , සමාව අයැදීම වෙනුවට දිවයින පුවත්පතට සමුදී තම උපන් ගමට පිටත් විය.එසේ කොන්ද කෙලින් කර පෑන මෙහෙය වූ දිවයින අද සමන් ගමගේ , කීර්ති වර්ණකුලසුරිය, අනුර සොලමන්ස් වැනි අසුචි බුදින "පත්තරකාරයන්ගේ" තිප්පලිකි. දයාසේන ගුණසිංහ පත්‍රකලා ජීවිතයේදී වඩාත් ප්‍රකට වූයේ තීරු ලිපි රචකයෙකු වශයෙනි. රයිගම් රාළ, භූත රිපෝටර්, ලුනටික්කා, උකුස්සා, රණරාළ, සංගුරා වැනි ආරූඩ නම්වලින් රචිත එකී තීරු ලිපිවලින් අභීත හා අදීන පත්‍ර කලාවේදියෙකු ලෙස ජනාදරයට පාත්‍රවූ අතර, රිදෙන තැන්වලට වැරෙන්ම පහර දුන්නේ පත්තර ආයිතිකාරයන්ගේ බහ තුට්ටුවකට මායිම් නොකරය.

අපේ රටේ අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙන් හමු වී ඇති ජනමාධ්‍යවේදීන් අතර රිචර්ඩ් ද සොයිසා හට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මේ රටේ වරප්‍රසාධ ලත් පන්තියේ උපත ලබා පීඩිත දනන්ගේ විමුක්තිය වෙනුවෙන් පෑන හැසිරවීමේ වරදට ජීවිතයද ජනතාව වෙනුවෙන් පුද දෙන ලදී. මේ රටේ ධවල භීෂණය බුර බුරා නැගෙද්දී , අළුගෝසු ප්‍රේමදාස පාලනය නිර්ධය ලෙස විවේචනය කරමින් මේ කව්ද මොනවද කරන්නේ යන නාට්‍යද නිර්මාණය කළේය.එතනින් නොනැවතී ශ්‍රී ලංකාවේ බලයේ සිටි මිනීමරු එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන යන ජන සංහාරය පිළිබඳව රට තුල ජීවත් වෙමින් නිර්භයය ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කළේය. ඔහුගේ රචනා ශෛලිය ඉංග්‍රීසි භාෂාව වුවද , ඔහු තම මතය මේ රටේ ඉංග්‍රීසියෙන් සිතන පතන ප්‍රභූ සමාජය දෙදරවා යාමට ලීවේය. ප්‍රේමදාස ගේ ජනපීඩක පාලනයට ඔහු කෙතරම් හිසරදයක් වීද යත් , රිචර්ඩ් ද සොයිසා දින කිහිපයකින් ලොව පිළිගත් මාධ්‍ය ආයතනයක ප්‍රධාන තනතුරක් ලබා ගැනීමට පිටත් වීමට පෙර මරා මුහුදට විසි කළේය. එසේ නොවන්නට , ආර්. ප්‍රේමදාස, රන්ජන් විජේරත්න වැනි ගහලයින් ජන සංහාරක චෝදනා යටතේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයට පවා ගෙන යාමට පවා නිර්භය හිතක් ඇති මිනිසෙකු විය. ලසන්ත වික්‍රමසිංහ දරන ලද දේශපාලන මතය කුමක් වුවද , මෙරටේ කප්පරක් ජඩමාධවේදීන් අතර කොන්ද කෙලින් තියාගෙන පත්තර කලාව කල අපේ කාලයේ වීරයෙකි. මේ රටේ ජනතාවගේ මුදල් නිලන් බලයෙන් මත්වූ රාජපක්ෂ පවුල විසින් කාබාසිනියා කරන විට ඔහු නිහඬ නොවිය. ගෝටාභය විසින් ඩොලර් කෝටි 10 ක් වැයකරමින් බෙල් මිස්සා නම් ප්‍රහාරක යානා නිපදවන ආයතනයට සමග සිදුකල ගනුදෙනුව ඔහු ප්‍රශ්න කළේය. එම කූට අවි ගනු දෙනුවෙන් ගෝටාභය රාජපක්ෂ ඩොලර් මිලියන ගණනක් ගසා කෑ බව ඔහු සාක්ෂි සමග ඔප්පු කළේය. එම සාක්ෂි කෙතරම් ප්‍රබල වේද යත් , ගෝටාභය රාජපක්ෂ ගෙවූ බවට සහතික කල බෙල් මිස්සා සමාගම ලොවේ කොතැබක හෝ පිහිටා නැති බව ලාංකික ජනයාට් කීවේද ඔහුය. රාජපක්ෂ කල්ලිය විසින් මේ රටේ ජනතාව ගේ මුදල් සමග ජල්ලි අල්ලනවිට ලසන්ත ලා නිර්භයව රටවැසියාගේ අවබෝධය පිණිස අකුරු කළේය. එහි අවසානය වුයේ අත්තිඩියේ දී වෙඩි පහරට ලක් වීමය.

එක්සත් ජාතික පක්ෂයේ ලේ වැකුණු පාලනය ඉදිරියේ තවත් කෙලින් සිටගත් මාධ්‍යවේදියෙකු වුයේ ඇත්ත පත්තරයේ කාටුන් ශිල්පී යුනුස් සහෝදරයාය. වරෙක ඔහුගේ දෙපා බිඳ දමා අමානුෂික ලෙස එජාප මැරයින් විසින් පහර දුන්නද, ඔත්පලව ලෙඩ ඇඳේ සිටිමින් දුර්ජන පාලකයන් නිර්ධය ලෙස විවේචනයට ලක් කරමින් කාටුන් අඳින ලදී. මෙම ලිපිය සමග පලවන්නේද එදා ආර්. ප්‍රේමදාස පාලනය යුනුස් ගේ මාධ්‍ය ඇසට හසුවනු ආකාරයයි. යුනුස් ලාගෙන් ගිලිහුණු ආදීන මාධ්‍යකරණය අද දවසේ සියතට ගනිමින් විනි හෙට්ටිගොඩ කටයුතු කිරීම පැසසිය යුතුය. එමෙන්ම අවන්ත ආටිගල වැනි තරුණ නිර්මාණ කරුවන් යුගයේ අවශ්යතතාවය යම් ප්‍රමාණයකින් ඉටු කරනු පෙනේ.

කවිය අවියක් කරගත් මෙරට මාධ්‍ය තුල කැපී පෙනෙන වැඩ කොටසක් කල සහෘදයෙකු ලෙස චන්ද්‍රකුමාර වික්‍රමරත්න අවිවාදයෙන් හැඳින් විය හැක. භූගත දේශපාලනයක ක්‍රියාකරුවෙකු ලෙස මරණ වරෙන්තුව දෑතේ රුවාගෙන ඔහු මේ රටේ සියලු මාධ්‍ය ආයතන පීරමින් ගර්හිත පාලනයට එරෙහිව ලිපි සපයන ලදී. සුනිල් මාධව විසින් සංස්කරණය කල දිවයින පත්‍රයේ 8 වන පිටුවේ ඔහුගේ කවි දකින තුරු මේ රටේ යුක්තිය ඉටුවන තෙක් නොනිම් අශාවෙන් පෙරමග බලා සිටි මිනිසුන් දස දහස් ගණනින් බිහිවී තිබුණි. ඔහුගේ පෑන කෙතරම් ප්‍රබලද යත් , අදද ඔහුට හිමිව ඇත්තේ නන්නාඳුනන සොහොන් බිමකි. පාලකයන් ඔහුගෙන් කෘර ලෙස පාලි ගත්තේය. ඔහුකල වරද වුයේ ජනතාව වෙනුවෙන් හඬ නැගීමය.

ලාංකීය ජනමාධ්‍යකලාවේ තවත් මග නොහැර යා හැකි එඩිතර මිනිසෙකු හමුවේ. පසු කලෙක කුමන මත භේධයන්ට ඔහු ලක් වුවද, 80 දශකයේ අපට සිටි ජනමාධ්‍ය ලොවේ වීරයා නම් සුනිල් මාධව ප්‍රේමතිලක නම් සොඳුරු මිනිසාය. දිවයින පත්තරයේ 8 වන පිටුවේ සත්‍යවාදියෙකුගේ දිනපොත තරමට මේ රටේ ධනපති දේශපාලනයට වැරෙන් පහර දුන් වෙනත් මාධ්‍ය කාරණයක් නොවිය. ආර්. ප්‍රේමදාස ගේ මිනීමරු පාලනය අවසාන වුයේ රිචර්ඩ් ද සොයිසා වැනි වීරෝධාර මිනිසුන් දස දහස් ගණනින් මරා දමමිනි. 1990 වන විට සමස්ත ශ්‍රී ලංකාවම විශාලා මහා නුවරක් බවට පත්වූ අතර, යුක්තිය සාධාරණත්වය ඉල්ලා හඬ නගන්නට කිසිවෙකු නොසිටියේය. එවන් අවිචාරවත් මොහොතක සුනිල් අයියා නගෝí සිටිමින් " ප්‍රේමදාස මම සුදානම්" යැයි හෙඩිමක් දමමින් ලක්දිව පත්තරය පටන් ගත්තේය.

ලාංකීය මාධ්‍යකලාවක් දැන් නැත. සියලු මාධ්‍ය ආයතන මේ රටේ කසිකබල් දේශපාලුවන්ගේ කළු සල්ලි මතින් යැපෙන , උන් ගේ කිලිටි රෙදි ශෝධන වෙල්ලාහැලි බවට පත් කර හමාරය. දෙරණ, සිරස, හිරු , රුපවාහිනි , ස්වාධීන රුපවාහිනි ඇතුළු සියලුම මාධ්‍ය  දේශපාලුවන්ගේ අල්ලේ නැටවෙන රුකඩ බවට පත් වී ඇත. පසුගිය දා නිමාවට පත් වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය  නිවැරදි යායිකිමට මේ රටේ ජඩමාධ්‍ය කිසිදු විලිබියකින් තොරව පීඩකයින් පනමෙන් රකිනු ලැබිය. යුක්තිය , සාධාරණත්වය අගයන  මිනිසුන්ගේ  පිළිකුල මධ්‍යයේ  පත්තර කියවන කොලුවන් පවා ව්‍යවස්ථාව අර්ථ නිරුපනය කිරීමට තරම් ඉදිරියට පැමිණියේය. මේ රටේ දේශපාලුවන් මහජන මුදල් සොරාගැනීමෙන් පසු ඔවුන් විසින්ම ආයෝජනය කරන මෙම කළු මාධ්‍ය ආයතන විසින්  මේ රට සිදු කරන විනාශය ගණනය කල නොහැක. සියලු තක්කඩියන් කිරි කොක්කු සේ සමාජය ඉදිරියට ගෙන එන්නේ මෙම  පාදඩ මාධ්‍යකරණයයි 

සමස්තයක් ලෙස රටම කුණු වී ඇති මොහොතක ජනමාධ්‍යවේදියා පමණක් ඉතිරි වේ යයි සිතන තරමට මා බංකොලොත් නොවන්නෙමි. එහෙත් සමාජය මෙතරම්ම පිරිහීමට , පාලකයන්ට මෙතරම්ම පිස්සු කෙලීමට පරිසරය පස සකසා දීමට ජනමාධ්‍යවේදීන් යයි වර්තමානයේ පාරම්භාන ආයසිදුකල කාර්යය . අසීමිතය. ජනමාධ්‍ය පිළිබඳ උගත් දෑ පසෙකින් තබා මේ මජර, පාදඩ සංස්කෘතියට මිශ්‍ර වී කුණු කමින්, පාලක පන්තීන්ගේ පව් ශෝදා පිරිසිදු කරමින් ගෙවන මේ නීච දිවි පෙවෙත අපුල දනවන සුළුය. මෙම කුණු දුගඳ හමන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා කවර හෝ උත්සහයක් නොදැරීම පිළිබඳව ඇත්තේ පිපිරී යන වෛරයකි. ශ්‍රාවය දෘශ්‍ය මාධ්‍ය කවරෙක වුවද අද දින නියෝජනය වන්නේ මජර කමින් පෙරී ආ එක්තරා වාසල කුලකයකි. සමස්ත සමාජයම වඩා යහපත් දිශානතියකට හරවන මාධ්‍යවේදියා , මෙරටදී කටයුතු කරන්නේ ජනතාව තව දුරටත් වල්මත් කිරීමටය. හොල්මන් , අවතාර, කේන්දර , අපල ඔවුන්ගේ මාධ්‍ය ලෝකයේ ප්‍රමුඛ පුවත් බවට පත්ව ඇත්තේය. දෙරණ හා හිරු මේ සමාජයෙන් නොවලහා අතුගා  දැමිය යුතු සමාජ වෛරස් දෙකකි. . පාලකයින්ගේ ජාමෙ බේරාදීමට මිත්‍යයාව  වර්ණනා කරන්නේ එයට අත්තටුද ලබා දෙමිනි. ජනමාධ්‍ය නම් ශ්‍රේෂ්ඨ වෘත්තියේ නියැලෙමින් මේ රට පීඩාවෙන් පීඩාවට පත් කරන හාමුලා වෙනුවෙන් දරදිය අදින නුඹලා මේ දේශයට බරම මිනිසුන් කොටස.  වන්නෙමු.

Rohana Wijeweera - facebook 

No comments

Powered by Blogger.