Header Ads

උඩ කරණම් බිමම කරණම්!

නව ජාතික ප්‍රතිපත්තියක් නොහැදුවහොත් ආණ්ඩුවෙන් එළියට බහින බව විමල් වීරවංශ ඇමැතිවරයා පැවැසූ පුවතක් 'මව්බිම' පුවත්පතෙහි සඳහන් විය.

ඔහු මේ කතාව එළිදක්වා ඇත්තේ ඔහුගේ පක්‍ෂයේ දෙවැනි සමුළුව අමතාය. විමල් වීරවංශගේ මේ අනතුරු ඇඟවීමෙන් ආණ්ඩුව තක්කු මුක්කු වෙන්නට බැරි නැත.
ජනතා විමුක්ති පෙරමුණේ සිට එයින් කැඩී ජාතික නිදහස් පෙරමුණ නමින් පක්‍ෂයක් අටවාගත් වීරවංශ පුවත්පත්වලින් දුන් ප්‍රචාරය නිසා ලොක්කා වී මෙසේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමට තරම් බක්කකු වීම ගැන අපට සිනා නොවී සිටිය නොහැකිය.
කලක් සුනිල් මාධව ප්‍රේමතිලකගේ කර්තෘත්වයෙන් බොරැල්ලේ සුපර් මාර්කට්ටුව තුළ පවත්වාගෙන ගිය 'ලක්දිව' පුවත්පතේ තීරු රචකයකු ලෙස විමලසිරි ගම්ලත් නමින් කලඑළිබැස්ස වීරවංශ දේශපාලනයට ආවේ විමල් වීරවංශ යන නමිනි. පත්තරකාරයකු හැටියට අවුරුදු දෙක තුනක් වැඩ කළ ඔහු දේශපාලනඥයකු වීමෙන් පසු පුදුමසහගත ලෙස වෙනස් විය.

මාධ්‍යවේදියෙක් කිසිදු කලබලයකින් තීන්දු තීරණ ගන්නේ නැත. විමල් වීරවංශ තුළ සිටි මාධ්‍යවේදියා මරාගෙන උපන් දේශපාලනඥයා දැන් උඩුපිනුම් පමණක් නොව බඩපිනුම් ගසන්නට පටන්ගෙන තිබේ.
දේශපාලනයේ හැටි එහෙමය. කුරුඳු පොලු නොව පිදුරු ගහේ එල්ලී හෝ දේශපාලනයට පිවිසෙන දේශපාලනඥයෝ පිදුරු ගහ අමතකව මහ නුගරුක්වලට අභියෝග කරන්නට පටන් ගනිති. විමල් වීරවංශද එවැන්නෙකි.
ඔහු කියන මේ නව ජාතික ප්‍රතිපත්තිය කුමක්දැයි අපට නම් නොතේරේ. මේ ආණ්ඩුව ඇතුළේ පක්‍ෂ කිහිපයක් සිටියි. වාසුදේවගේ පක්‍ෂය, තොණ්ඩමාන්ගේ පක්‍ෂය, හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය වැනි වෛවාරණ පක්‍ෂ මේ රජය තුළ සිටිති. වාසුදේවගේ සටන් නම් ගණන් ගත යුතු නැත. වයසට යෑමත් සමඟ ඔහුගේ සටන්කාමීත්වය ලෑල්ලට බැස තිබේ.

ජනාධිපතිවරයාගේ මහින්ද චින්තනයත්, එක්සත් ජාතික පක්‍ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ප්‍රතිපත්තියයත් දෙමුහුන් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් මේ අවුල හටගෙන ඇති බව කීය. විමල් වීරවංශ ආණ්ඩුව දෙමුහුන් ප්‍රතිපත්තියෙන් ඉවත් විය යුතු බව කියයි.
මේ දෙමුහුන් ප්‍රතිපත්තිය ගැන නොදැන වීරවංශ ආණ්ඩුවට සම්බන්ධ වීදැයි ප්‍රශ්න කළ යුතුය.
කෙසේ වෙතත් විමල් වීරවංශට තදියමේ පහළ වූ ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය ගැන නම් ජනතාව සතුටු වන බව කිව යුතුය.
ආණ්ඩු කඩාගෙන ගිය බොහෝ දේශපාලනඥයන්ට ඉතිහාසයේ කුණු බක්කියට වැටීමට සිදුවූ බව කිවයුතු නොවේ. පිලිප් ගුණවර්ධන බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවෙන් පිට විය. ඔහු අන්තිමේ ඩඩ්ලිගේ එ.ජා.ප.යට ගොස් දේශපාලන කුණු බක්කියට වැටුණේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් එස්. බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, ජී. එල්. පීරිස් යන අය කඩාගෙන ගොස් පසුව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එක්වූහ.
අද ඔවුන් මේ ආණ්ඩුවේ සුවච කීකරු ඇමැතිවරුය. කොයි ආණ්ඩුවක්වත් මේ තරම් රසවත් නැහැයි කියමින් ඔවුහු ආණ්ඩුව සූප්පු කරමින් ජොලියේ ඉන්නා අන්දම බලන්නට ලස්සනය.

පසුගිය රජයක සිටි ඇමැතිවරයෙක් විමල් වීරවංශ මෙන් කයිවාරු ගසා ඉල්ලා අස්වීමට තීරණය කළේය. මේ ආරංචිය සැලවූ ඔහුගේ මිතුරු ඇමැතිවරු ඔහු හමුවූහ.
"ඔයා මේ තීරණය ගත් එක වැරැදියි. මේ ආණ්ඩුව තව කලක් තියෙනවා" ඔවුහු කීහ.
"ඒත් මට බෑ මේ ආණ්ඩුවේ ඉන්න. මං ලබන සතියෙම ඉල්ලා අස්වෙනවා. ජනාධිපති මම කියන කිසි දෙයක් කරන්නේ නැහැ."
"ඒත් තව ටික කලක් හිටියොත් නේද හොඳ?"
"බෑ... බෑ... යන එක යනවාමයි" කියමින් ඔහු ඉල්ලා අස්විය.
ඉල්ලා අස්වී ඇමැතිවරයා ගෙදර යන විට ඔහුගේ රූමත් බිරිය පෞද්ගලික ලේකම් සමඟ පැන ගොස්ය.
ඊළඟ මැතිවරණයෙන් ඔහු ආසනයෙන්ද පරාජය විය. ඇමැතිකමත් නෑ, බිරියත් නෑ.
දකුණු පළාතේ මන්ත්‍රිවරයෙක් සිටියේය. ඔහු විමල් වීරවංශ මෙන් කටට ආ දෙයක් කියන වාචාලයෙකි.
ඔහුගේ වරදකට පක්‍ෂ නායකයා තදින් අවවාද කර ඇත. මේ ගැන කිපුණු ඔහු පක්‍ෂයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළේය.
මේ තීරණයට ඔහුගේ මිතුරෝ තදින් විරුද්ධ වූහ.
"ඔය නායකතුමාගේ හැටිනේ. ඕකට තරහ වෙලා පක්‍ෂයෙන් ඉල්ලා අස්වුණොත් ලබන පාර පරදින්නයි වෙන්නේ."
"ඒකට කමක් නෑ. මං මගේ තීරණය වෙනස් කරන්නෙම නෑ."
"එහෙනම් ඉතින් අපිත් ඔයාගෙන් ඉවත් වෙනවා. අපට බෑ පක්‍ෂ මාරු කරන්න."
හිතුවක්කාර මන්ත්‍රි ගෙදර ගොස් බිරියට පම්පෝරි ගැසුවේය.

"නායකතුමා මට බැන්නා. බැනුම් අහ අහ පක්‍ෂය තුළ ඉන්න මට බෑ. මං පක්‍ෂයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළා."
"මොනවා... මේ පක්‍ෂය අතහැරල ඔයා මොන පක්‍ෂයටද යන්න හදන්නේ?"
"නෑ... මං කිසි පක්‍ෂයකට බැඳෙන්නේ නෑ. ස්වාධීනව ලබන සැරේ තරග කරනවා."
"ඔයා ඇපත් නැතිව පරදිනවා ෂුවර්."
"බලමු, බලමු මොකද වෙන්නේ කියලා."
අකීකරු මන්ත්‍රි පක්‍ෂයෙන් ඉවත් විය. ඔහු වටා සිටි ආධාරකරුවෝ ඔහුගෙන් වෙන්වූහ.
ඊළඟ මැතිවරණය ආවේය. ඔහු පමණක් නොව පළාතම මවිතයට පත්කරමින් ඔහුගේ බිරිය සැමියා අත්හැරි පක්‍ෂයෙන් තරග බිමට ආවේය.
"දැන් මම කොහොමද ඔයත් එක්ක පවුල් කන්නේ?"
"පවුල් කන්න බැරි නම් වෙන්වෙලා යනවා."
අන්තිමේ සැමියා ස්වාධීනව තරග කළේය.
ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. බිරිය අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජය ගත්තාය. සැමියා ඇපයද රාජසන්තකව අන්ත පරාජයට පත්විය.
දැන් සැමියා මන්ත්‍රි බිරියගේ ලේකම්වරයාය.
විමල් වීරවංශ උන්නැහේ උඩ පැන්නොත් බිම වැටේ. කරණම්කාරයන්ගේ ඉරණම රෝහල නේද?

බාල්දිය -

No comments

Powered by Blogger.