Header Ads

අපි නොදන්න චෙස්.........අපි නොදන්න චෙස්

ක්‍රිකට් විරුවන් රැුගෙන ආ ප්ලේන් එකේ දොර සෑහෙන වෙලාවක් යනතුරු ඇරුණේ නැත. ටීවී එකෙන් සිද්ධිය බලාගෙන සිටි ජනාධිපතිතුමා සෑහෙන වෙලාවකට පසු පූසාට කීවේ ඩකා ඉඳලා එන්නවත් මෙච්චර වෙලා ගියෙ නැතුව ඇති, මොකද මේ මිනිස්සු ඩෝ එක ඇරගෙන බහින්නෙ නැත්තෙ කියාය. පූසා කීවේ අපේ මෑන්ලා කටුනායකින් බහින්න බැහැ කියනවද දන්නෑ කියාය. කටුනායක නොබැහැ කොල්ලො සෙට් එක ආයෙ ඉතිං වෙන කොහේ යන්නද කියා ඇසූ ජනාධිපතිතුමාට උත්තර නොදුන් පූසා හදිසියේම මොබයිල් එක ගෙන කාටද කතා කළේය. අම්මට හුඩු නයා, නෑහ්, මුං මාර බුවාලනෙ ආදී වශයෙන් කාටද ප‍්‍රතිචාර දක්ව දක්වා සිටි පූසා ඇමතුම කට්කර ජනාධිපතිතුමාට කීවේ මාර වැඬේ බොස් මම හිතපු එක හරි අපේ උන් ටික කටුනායක නොබැහැ ආයෙ ෆ්ලයි කරලා මත්තල එයාර්පෝට් එකේ බහින්න ඕනෑ කියනවලූ කියාය. ජනාධිපතිතුමා කීවේ නියමයි මං හම්බන්තොටින් මෝටර් සයිකල් පන්දාහකුයි, තී‍්‍රවිලර් දෙදාස් පන්සියයකුයි, ජාතික කොඩි හත්දාස් පන්සියයකුයි එහේ ඉඳන් ගෝල්ෆේස් එන ගමනට ටක්ගාලා ලෑස්ති කරලා දෙන්නම් කියාය. එතකොට කටුනායක ඉඳන් ගෝල්ෆේ්ස් එන්න දත මැදගෙන හිටපු උන්ට මොකද වෙන්නේ කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ ක‍්‍රීඩා ඇමතියි, නිශාන්ත රණතුංගයි එක්ක උන්ට ගෝල්ෆේස් එන්න පුළුවන්නේ කියාය. පූසා කීවේ අපේ මාලි නම් ලකී මෑන් කෙනෙක් කියාය. ජනාධිපතිතුමා ඇසුවේ මාලි කියන්නේ කවුද කියාය. අයියෝ මාලිංගට හුරතලේට කියන්නෙ එහෙමනේ කී පූසාට ජනාධිපතිතුමා කීවේ ඉතිං ලිංග කපලා ‘මා’ විතරක් කිව්වොත් කොල්ලව තවත් හුරතල් කරන්න පුළුවන්නේ කියාය. පූසා කීවේ ඒක කැපුවට පස්සේ හුරතල් කරලා වැඩක් නැහැ කියාය. ෂාහ් මේ කොල්ලො ටික නැවක ගෙන්වන්න තිබුණේ බං කියා කනස්සල්ලෙන් වගේ කී ජනාධිපතිතුමාගෙන් පූසා ඇසුවේ ඇයි නැවක ආවොත් මොකක්ද වෙන වාසිය කියාය. ජනාධිපතිතුමා කීවේ එහෙමනම් මුං ටික කෙළින්ම හම්බන්තොට වරායට ගෙන්වගන්න තිබුණා කියාය. නියම අයිඩියා එක කී පූසා මත්තලට නම් මුවෝ, ඌරෝ, මොනරු මරන්න හරි ප්ලේන්වලින් එනවා, වරායට බෝට්ටුවක්වත් එන්නැති එකේ මාලිංගයා හරි කප් එකත් අරන් මාගම්තොටට ගොඩබහින එක ලොකු දෙයක් කියාය. ජනාධිපතිතුමා කීවේ ඊළඟට එන මහ වර්ල්ඞ් කප් එකත් මං බලන්න එන්නෙ නැහැ කියලා කොල්ලො කට්ටියට අදම පොරොන්දු වෙනවා කියාය. එතුමා ඩබල් එකේම කීවේ ඒ විතරක් නෙමෙයි මාලිංගලාගෙ, සංගලාගෙ පුතාලා සිලෝන් ටීම් ගහන කාලෙදිවත් මම මැච් බලන්න එන්නෙ නැහැ කියලත් අදම ප්‍රොමිස් කරනවා කියාය. පූසා කීවේ උන්ට තාම ඉන්නෙ අතදරුවො උන් ලොකුවෙලා තව අවුරුදු විසි ගාණකින් ක‍්‍රිකට් ගහන කාලෙදිත් ඔබතුමාම රටේ බොසා වීම ගැන මාර ප‍්‍රීතියි කියාය.

අනතුරුව පූසා කීවේ ඉන්දියාව දිනන බවට ඔට්ටු දාලා හාට් ඇටෑක් හැදිලා මැරිච්ච ගම්පහ මුදලාලිගෙ මරණෙට බොස් වගකියන්න ඕනෙ කියලා වෙබ් එකක ගිහින් තිබුණා කියාය. හොඳටම මලපැන අර අහවල් මඟුලකටද කියා ඇසූ ජනාධිපතිතුමාට පූසා කීවේ ඇයි ඉතිං ඒ යකා ඔට්ටුව දාලා තියෙන්නේ, ෆයිනල්ස් නිසා ඩිෆනීට්ලි ඔබතුමා මැච් එක බලන්නයයි කියන විශ්වාසයෙන් කියාය. කොල්ලො ටික පිළිගන්න මං මගටවත් නොගියේ ඔය අපවාදෙ නිසා තමයි කී ජනාධිපතිතුමා මං උන් ආපු වහලෙ නැති බස් එක ළඟට හරි ගියා නම් අර හෙඞ් ලයිට් ගහගෙන කෙළගෙන ගිය බස් එකේ ටයර් එකක් හරි ගියා කියයි. මං මොකටද ඔය කඩප්පුලි කතා අහගන්නේ කියාය. පූසා කීවේ ඩැරන් සැමියා අපි දිනනවා කියලා නියත විවරණ දුන්න නිසා ලංකාව දිනුවා. ඒ ජාතියේ සැමියෙක් ඒගොල්ලන්ටත් නියත විවරණ දුන්නා නම් ගොඩයන්න තිබුණා කියලා රනිල් ගෲප් මීටින් එකේදි කියලා තිබුණා කියාය. ජනාධිපතිතුමා කීවේ සැමියෙක් නැති ප‍්‍රශ්නය රනිල්ට තදින්ම දැනෙන්න පටන් අරන් එහෙනම් කියාය. පූසා කීවේ ටීවී එකත් දාගෙන සිංහලෙන් කමෙන්ටි‍්‍ර එක අහන නිසා ඩැරන් සැමියා කියපු කතාව මට ලයිව් අහන්න බැරිවුණා කියාය. ජනාධිපතිතුමා කීවේ ආපෝ දැන් සිංහල කමෙන්ටි‍්‍ර මම නම් අහන්නෙ නැහැ, පේ‍්‍රමසරයි, පාලිතගෙනුයි පස්සෙ ආපු මෑන් මාර බුල්නෙ කෙළින්නෙ කියාය. මිනිහා හොඳයි පෙරහැරක විස්තර ප‍්‍රචාරය කරන්න කියා ඩබල් එකේම කී එතුමා ෆයින්ලෙග් යන ස්ථානයේ සිටි නැට්ටුවෙක් වෙතට දිව ආ කසකරුවෙක් කිසිවක් විමසා මිඩෝන් යන ස්ථානයට දිව ගියේය වගේ දේවල් කියන්න නම් මෑන් මරු කියාය. මොකා ගැනද මේ කියන්නේ කියා හිත හිතා සිටි පූසාට ජනාධිපතිතුමා යළි කීවේ පෙරහැරේ ඞීප් මිඞ්විකට් කලාපයේ සිටි අලියෙක් උස බොරු කකුල් කාරයෙක්ගෙන් ඇසුවේ පන්සලට තවදුරද බලපං’ වගේ ඒවා කියන්න ඒ හාදයා මරු කියාය. පූසා ලොකු කල්පනාවක නිමග්නව සිට ඔය කියන මෑන්ව මීටර් වී ඇසුවේ ඔය කියන්නේ විලේජ් ඉන්ද වෝටර් ගැනද කියාය.

ජනාධිපතිතුමා කීවේ යුවරාජ්ලගෙ ගෙදරට ගල්ගහපු එක නම් අප්සට් වැඩක්. ඒ යකා මක් කරන්නද විරාට් කෝලිකුට්ටු විතරනෙ ඒ පැත්තෙන් ගැහුවෙ කියාය. පූසා කීවේ මට දුක යුවරාජ්ලගෙ මිදුලෙ නවත්තලා තිබුණු තැඹිලිපාට ලැම්බෝගිනි එක ගැන, අරුංගෙ ගල් පාරවල් ඒකටත් වැදුණද දන්නෑ කියාය. ජනාධිපතිතුමා කීවේ උඹ ඉතිං යුවරාජ්ගෙ ලැම්බෝගිනි එකට කෙළ හලන්නැතුව ඕනෙම නම් උඹත් එකක් ගනිං උඹලට මං එපා කියලා නැහැනෙ කියාය. එතුමා යළි ඇසුවේ යුවරාජ්ලයි ගෙදරට ගහන්න ආපු එවුන් මෑන්ගෙ තාත්තට බැනලා තියෙන්නේ මොනවා කියලද කියාය. පූසා කීවේ ‘උන් බැනලා තියෙන්නේ ලංකාවෙ ජනාධිපති ආවා නම් තමුසෙලගෙ පුතත් උඩ පැන පැන ගහයි නැත්නං හුප්පේ’’ කියලයි කියාය.

පූසා යළි කීවේ නායකත්ව මණ්ඩලයකින් කප් එක දිනපු එක ගැන කරු ජයසූරිය ඇතුළු කණ්ඩායම සෑහෙන්න පීදිලා ඉන්න බව ආරංචියි කියාය. ජනාධිපතිතුමා කීවේ මැච් එක නම් ඒ ක‍්‍රමේට දිනුවා තමයි. ඒත් හැම තැනකටම නායකත්ව මණ්ඩලය ඇප්ලයි කරන්න ගියොත් ජාතික නායකත්වයක් නැතිවෙලා ඉක්මනට පෙඩරල් අනතුරක් ඇතිවෙන්න පුළුවන් කියාය. පූසා කීවේ හරි ඉතිං මතවාදී ලෙස රටේ එහෙම පෙඩරල් ටෙ‍්‍රන්ඞ් එකක් ඇතිවුණොත් ඒකට දිනේෂ් බංකුමාල් ඩිරෙක්ට් වගකියන්න ඕනෑ කියාය. ජනාධිපතිතුමා ඇසුවේ ඇත්තටම ඒ පොඩි මල්ලිට ඇස් ඇරෙන්නත් කලින් කැප්ටන්සි එක හම්බවුණේ කොහොමද කියාය. පූසා කීවේ සනත් අයියට අවශ්‍ය ෆයිල්වල වැඩ කරල දෙන්නෙ ඔය මල්ලිලූ බොස්, ඒ නිසා මෑන්ට කොල්ලො බොනාසායි කියලත් කියනවලූ කියාය.

ජනාධිපතිතුමා කීවේ මැච් එක දින්න දා නම් ජනතාව ජීනීවා පරීක්ෂණයත් යට යන මට්ටමට එන්ජෝයි කළා කියාය. පූසා කීවේ අම්මට සිරි සර් එදා ප‍්‍රභාකරන් මරපු දවස වගේමයි කොල්ලො බීලා හෙල්මටුත් නැතුවයි බයික්වල ගියේ කියාය. පොලිසිය ඇල්ලූවෙ නැද්ද කියා ඇසු ජනාධිපතිතුමාට පූසා කීවේ ඒ වගේ ජාතික ප‍්‍රශ්නයක් සෙට්ල් වෙච්ච වෙලාවල්වලට පොලිසියයි ජනතාවයි එකතු වෙලා සමහර පරණ නීති සංශෝධනය කරගන්නවා කියාය. පූසා ඩබල් එකේම කීවේ මැච් අවු අස්සේ රටේ ආර්ථික වර්ධන වේගය සීයට හතට ගිය එක ලොකු දෙයක් බොස් කියාය. උඹලා වගේ හිතන්න පුළුවන් ජනතාවක් ඉන්න එකත් ලොකු දෙයක් බං කී ජනාධිපතිතුමා ගේ ඇතුළට ගියේය. පූසා තනිවිය. ඌට ලාවට නින්ද ගියේය. හීනෙන් වගේ ගැඹුරු කටහඬක් ඇසුණේය. ඉන් කියවුණේ බයික්වලින් ගෝල්ෆේස් ගිය ජාතියෙ ජනතාවක් ඉන්නවා නම් අපි ගොඬේ ගොඩ කියාය. ඒ කොහොමද කියා හීනෙන්ම ඇසූ පූසාට පිළිතුරු ලැබුණේ ඇයි යකෝ උන් පපරපාං කල්චර් එකට සෙට් වුණාම ක‍්‍රිකට් ස්ප‍්‍රිං එකක් ගැන මිසක් ඇරැුබ් ස්ප‍්‍රිං වගේ සෝෂල් රිවලූෂන් එකක් ගැන මේ සම්මෙ හිතන්නැහැ කියාය.

විමලනාත් වීරරත්න

No comments

Powered by Blogger.