Header Ads

මහ ඡන්දෙකට ගියොත් මොනව වෙයිද?

ඩී.බී. විජේතුංගට "ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ්" කීවේ ඔහු ප්‍රේමදාස ජනාධිපති කාලයේ අගමැතිකම් කළේ අඳ, බිහිරි අයකු වගේ නිසාය. 1993 ඔහු ජනාධිපති වූ විට ඔක්කොම ඔහුට කීවේ ඩුයින් බ්ලඩි වෙල් නොහොත් නියමෙට ගේම දෙනවා කියලාය. හැබැයි ඒත් ඔහු ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ් නොහොත් අඳ, බිහිරි විජේතුංග බව කාට කාටත් තේරුණේ 1994 ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තියන්න ඔහු ගත් තීරණය නිසාය.

ඩී.බී. ගල උඩ සටන කියාගෙන 1994 මාර්තු දකුණු පළාත් සභා ඡන්දයට ගියේ දකුණ දිනා ජනාධිපතිවරණයකට යන්නටය. දකුණ පරාජය වුණාම ඩී.බී.
බය විය. ඔහු තමාගේ සමීපතම දේශපාලන උපදේශක එකල නීතිපති තිලක් මාරපන ගෙන්වා දැන් මම තියන්න ඕනා මොන ඡන්දය දැයි ඇසීය.
"ඇතුළේ ප්‍රේමදාසගෙ මිනිස්සු ඉන්නවා. කලින් ජනාධිපති ඡන්දෙ තිබ්බොත් ඒ අය ඔබගේ කකුලෙන් අදියි. වැඩ නොකර ඉඳියි. ඔබ ඉස්සෙල්ලා බෙල්ල දෙන්න එපා. කලින් මහ ඡන්දය තියල ඒ අයට දිනල එන්න කියන්න. ඒ අය කොහොම හරි දිනන්න ඕනනේ. ඒ අය බෙල්ල දීලා දින්නට පස්සේ ජනාධිපති ඡන්දෙට යමු..."
මේ මාරපන දුන්න උපදෙසය. ඒ වෙනකොට ගාමිණී දිසානායක රාජාලියාගේ කර පිටින් බැහැල වාඩි වෙලා හිටියේ අලියාගේ පිටේය. ගාමිණී කිව්වේ විජේතුංගට ජනාධිපතිවරණයට යන්න කියලාය.

"පොදු පෙරමුණ දකුණ දින්නේ චන්ද්‍රිකාගේ රැල්ලට. අපි දැන් ජනාධිපති ඡන්දෙ තිබ්බොත් චන්ද්‍රිකා අපේක්‍ෂිකාව වෙන්නේ නැහැ. අපේක්‍ෂිකාව වෙන්නේ මැතිනිය. ඇයව පරද්දන්න ලේසියි. අපි මහ ඡන්දයකට ගියොත් අගමැති අපේක්‍ෂිකාව වෙන්නේ චන්ද්‍රිකා. එතකොට අපිට අමාරුයි. මැතිනියව ඡන්දෙට ගෙන්න ගන්න නම් ජනාධිපතිවරණය තියන්න..."

මේ ගාමිණී, විජේතුංගට දුන්න උපදෙසය. විජේතුංග තිලක් මාරපන සහ ඔහුගේ විශ්වාසවන්තයන් ජේ‍යාතිර්වේදීන්ගේ උපදෙස් ගන්න පිටත් කර හැරියේය.
"මහ ඡන්දය කලින් තියන්න කියලයි ජේ‍යාතිර්වේදීන් කියන්නේ..."
මාරපන ඇතුළු විශ්වාසවන්තයෝ කීහ. ඇත්තටම ඒ වෙලාවෙ විජේතුංගගේ තීරණයට බලපෑම් කළේ කවුරුවත් නොව චන්ද්‍රිකාගේ දෛවයය. ඇයට බලයට එන්න පාර කපන්න විජේතුංග කලින් මහ මැතිවරණයට යන්න තීරණය කළේය.
මේ පරණ කතාව මතක් වුණේ පසුගිය බ්‍රහස්පතින්දා කලින් තිබිය යුත්තේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන්න ගැන තීරණය කරන්න මහින්ද
ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායකයන් කැඳවා ඇති බව සඳහන් ප්‍රවෘත්තිය කියවන විටදීය.

"ඇයි මහින්ද කලින් කිව්වේ ජනාධිපති ඡන්දෙකට යනවා කියලනේ..."
"ඇයි දැන් බය වෙලා...?"
ආණ්ඩුව බය වෙලා තියෙන්නේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක කතාවටය.
"විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයෙක් ආවොත් මහින්දට අමාරු වෙයි. දැන් ආණ්ඩුව ඇතුළේ කචල් දමන හවුල්කාර පක්‍ෂ කැඩිලා යයි. ආණ්ඩුව ඇතුළේ ඉන්න චන්ද්‍රිකාගේ කට්ටිය කකුලෙන් අදියි. වැඩ නොකර ඉඳියි..."
මේ මහින්දගේ උපදේශකයන් කලින් මහ ඡන්දයක් තියන්න ඕනා කියන හේතු පාඨය.

"මේ හේතු පාඨමනේ විජේතුංගගේ උපදේශකයනුත් කිව්වේ..." ඉතිහාසය දන්න අය කියන්නේ ඔය කතාවය.
කතාව ඇත්තය. මේ වේලාවේ මහ ඡන්දයකට ගියොත් වාසිය විපක්‍ෂයටය. ආණ්ඩුව මහ ඡන්දයකට යන්නෙම ආණ්ඩුවේ එකම හයිය මහින්දගේ ප්‍රතිරූපය ඩයිනමයිට් දමල පුපුරුවාගෙනය. මහින්ද පරදියි කියන බයට මහ ඡන්දයකට යනවා කියන මතය රට පුරා පැතිරේ. එහි වාසිය ගන්නේ විපක්‍ෂයය.
"එදා චන්ද්‍රිකාගේ වේලාවට විජේතුංග තීරණ ගත්තා සේ අද විපක්‍ෂයේ නායකයෙක්ගේ වේලාවට මහින්ද තීරණ ගන්න යනවාද?" එසේ සිතීම සාධාරණය.
"කවුද ඒ නායකයා...?"

ඇත්තටම මහ ඡන්දයක් තිබ්බොත් එක්කෝ එ.ජා.ප.යෙන් හෝ නැත්නම් සන්ධානයකින් ජාතික ලැයිස්තුවෙන් චන්ද්‍රිකා පාර්ලිමේන්තු යනු ඇත. ෆොන්සේකාත් පාර්ලිමේන්තු යනු ඇත.
"වේලාව කැරකෙන්නේ රනිල්ගේද? ෆොන්සේකාගේද? චන්ද්‍රිකාගේද?"
කියන්න දන්නේ නැත. ජනාධිපතිවරණයකට යන්න පාරම් බාපු ආණ්ඩුව ජනාධිපතිවරණය අකුළාගෙන මහ ඡන්දයකට යනවා කියන්නේ කාගේ හරි වේලාවක් කැරකෙන නිසාය.

කොහොමත් කලින් මහ ඡන්දයක් තිබ්බොත් කාටත් බහුතරය නැති පාර්ලිමේන්තුවක් එන්න ඉඩ තිබේ. මහින්දට බහුතරය ලැබුණත් ඒ සුළු ජාතික පක්‍ෂ පිහිටෙන්ය. චන්ද්‍රිකාගේ කාලයේ 2000 මහ ඡන්දය තබා අමාරුවෙන් පිහිටුවාගත් ආණ්ඩුව 2001දී වැටිණි.
"ඒ වගේ මහින්ද කොහොම හරි ගැටගහගන්නා ආණ්ඩුව රනිල්, ෆොන්සේකා හෝ චන්ද්‍රිකා වට්ටවයිද...?" කියන්න දන්නේ නැත. පසුගිය බස්නාහිර ඡන්දයේ ප්‍රතිඵල බලනකොට බස්නාහිර ආණ්ඩුව පරාජය කරන්න ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් පහක් හයක් විපක්‍ෂයට ගියත් ඇතිය. ආණ්ඩුව දැන් මහ ඡන්දයකට ගියොත් එන්නේ ඒ වගේ පාර්ලිමේන්තුවක්ය. එවැනි පාර්ලිමේන්තුවකින් පිහිටුවන ආණ්ඩුවක් වැටුණොත් මහින්ද ඊළඟ ජනාධිපතිවරණයට තරග නොකර ගෙදර යනු ඇත.
"එතකොට ජනාධිපති වන්නේ කවුද...?"
කවුරු වුණත් මහින්දගේ ඔළුව යකාගේ කම්මල වගේ මහ ඡන්දයද ජනාධිපතිවරණයද යන්න තීරණය කළ නොහැකිව මේ දවස්වල ගිනි ගන්නේ ඒ ජනාධිපතිගේ කේන්දරයේ කොටු 12 ග්‍රහයන් කැරකෙන විදියටය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

1 comment:

Powered by Blogger.