Header Ads

පහුගිය අවු:10 තරම් දේශපාලනඥයන් විසින් කලාකරුවන් නටවපු කාලයක් නෑ --- ප්‍රවීණ කලා ශිල්පී ඩබ්ලිව්. ජයසිරි

ඔබ මේ රටේ සමාජ ස්ථර තුනක් ස්පර්ෂ කළ කලාකරුවෙක්. ඒ කියන්නේ 70ට පෙර, හැත්තෑවේ දශකය සහ 77න් පසු විවෘත ආර්ථිකය සමග බිහිවූ සමාජය වශයෙන්. මේ කාල පරිච්ජේද තුනට සාපේක්ෂව අපේ කලාව උඩ යට ගියේ කොයි ආකාරයටද ?මෙම සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වයන් යටතේ කලාව පමණක් නොවෙයි සමාජයේ සෑම ස්ථරයක්ම කනගාටුදායක ලෙස කඩා වැටෙන තත්ත්වයක් ඇති කළා. සුද්දෝ මේ රට දාලා යන මොහොත වන විට තිබුණ තත්ත්වයත් ඉන්පසු නැති වෙන්නට පටන් ගත්තා.
දනමුත් නිදහස ලැබිමෙන් පසු කලාව පිරිහුණා කියල කියන්න බැහැ. 
මේ රටේ කලාකරුවො බිහිවුණා.
මා පිළිගන්නා හැටියට මේ රටේ බිහිවුණේ කලාකාරයො දෙන්නයි.
 කවුද ඒ දෙන්නා ?
ජෝර්ජ් කීට් සහ ආනන්ද කුමාරස්වාමි
මේ දෙදෙනා පමණක් විශේෂ වන්නට හේතුව මොකක්ද ?
ඒ අය තමයි ලාංකීය කලාව පිළිබඳ මතවාද ලෝකයට අරන් ගිය පුද්ගලයින් දෙදෙනා. ආනන්ද කුමාරස්වාමි මධ්‍යකාලීන සිංහල කලා කියන ‍පොතෙන් අපේ රටේ කොතරම් ශ්‍රේෂ්ඨ කලාවක් තියෙනවද කියන එක ලෝකයට පෙන්නුව. ජෝර්ජ් කීට්, පැබ්ලෝ පිකාසෝ වගේ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් එක්ක ප්‍රදර්ශනයක් තියල එයාගෙ අනන්‍යතාවය ලෝකයට පෙන්වා දුන්න.
එතකොට ඔබ මාර්ටින් වික්‍රමසිංහයන් සහ එදිරිවීර සරච්චන්ද්‍රයන් තියන්නෙ කොතනද ?

සරච්චන්ද්‍රයන් අප රටේ නාට්‍ය කලාව වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ අයෙක්. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර මෙන්ම ප්‍රේමසිරි කේමදාස යන අයත් ලෝක පරිමාවෙන් ගත්තත් ඉතා ඉහළ දැනුමක් තිබුණ අය. නමුත් ජාතික වශයෙන් විශාල ගැම්මක් ඇති කරපු ආටිස්ට්ල විදියට මේ අයට ‍පෝක් සමුද්‍ර සන්ධියෙන් එහාට යන්න බැරිවුණා.
නමුත් ඒ තරමින් ඔවුන්ගේ වටිනාකම ලඝු කරන්න බැහැ නේද? සරච්චන්ද්‍රයන් යම් පමණකින් අන්තර්ජාතිකව කීර්තියට ලක්වුණා.

අපට කුමරන් තෑග්ග, පිලිපීනයේ මැග්සයිසේ තෑග්ග වගේ එකක් ලැබුණ බව ඇත්ත. නමුත් මම හිතන්නෙ මේ අග්නිදිග ආසියාවේ හැම රටකටම වාගෙ ඔය තෑගි ලැබිල තියෙනවා.
හොඳයි; ඔබ කියන විදියේ අන්තර්ජාතික කීර්තියක් කරා අපේ කලාකරුවන්ට ළඟා වෙන්න බැරි වුණේ ඇයි ?
ඒ තමයි මේ රටේ හැටි. එහි සිටින මිනිසුන් තුළ ඇති පටු ගෝත්‍රවාදී කුහක මානසිකත්වය.
 උදාහරණයක් දෙන්න.
අපි ගනිමු සරච්චන්ද්‍ර මහත්තය. ඔහු මේ රටේ නාට්‍ය කලාවට ඉමහත් සේවයක් කළ අයෙක්. ඔහු පිං ඇති සරසවි වරමක් දෙන්නේ නමින් නාට්‍යකරුවෙක් සහ කලාකරුවෙක් ලෙස තමන්ගේ අත්දැකීම් ගැන ලියනවා. පිටු දෙසීය ගණනක් ඇති ඒ ‍පොතේ ඔහු සුගතපාලද සිල්වා ගැන එක වචන දෙකක් ලියලා නැහැ. නමුත් මේ රටේ නාට්‍ය ඉතිහාසය ගැන ලියන්න පුළුවන්ද සුගතපාලද සිල්වා ගැන ලියන්නෙ නැතිව “අපේ කට්ටිය” ගැන ලියන්නෙ නැතිව.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් අද මිය ගිහින්. ඔබට මේ ප්‍රශ්නෙ ඒ කාලෙ අහන්න තිබුණා.

මම මේ ප්‍රශ්නය ඇහුව බන්දුල ජයවර්ධනගෙන් ඉස්පිරිතාලෙ හිටපු සරච්චන්ද්‍රයන් බලල එන ගමන්. එතන මහාචාර්ය සුචරිත ගම්ලත් සහ උදේනි ජයවීරත් හිටිය.
බන්දුල ජයවර්ධන මහත්තය මොකද කිව්වෙ.?

ඔහු කිව්වා සරච්චන්ද්‍රයන්ගේ අදහස සුගතපාලද සිල්වා නාට්‍යකරුවෙක් නොවෙන බවයි කියලා. ඉතින් ඔන්න ඔය ආකල්පය තමයි ක්‍රම ක්‍රමයෙන් අද මේ සමාජයේ පහළට තල්ලු වෙලා ගිහින් තියෙන්නෙ.
ඒ අනුව මේ ගෝත්‍රික මානසිකත්වය එක්ක කොයි තරම් පංගු පේරු ඇති වෙලා තියෙනවද
මේ කලාව තුළ.
අද තිබෙන්නේ කලාකරුවන් දේශපාලනය සමග සම්බන්ධ වී සිටින තත්ත්වයක්. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද ?
පසුගිය අවුරුදු 10ක කාලය තුළ තරම් දේශපාලනඥයින් විසින් කලාකරුවන් නටවපු කාලයක් තිබුණෙම නැහැ. අද හැමදේටම කලාව කරන අයව දේශපාලනඥයාට අවශ්‍යයි.
 ඒ කාරණය තව ටිකක් පැහැදිලි කරන්න. කලාකරුවාටද දේශපාලනඥයා අවශ්‍ය..? දේශපාලනඥයාටද කලාකරුවා අවශ්‍ය.. ?
දෙගොල්ලන්ටම එකිනෙකා අවශ්‍ය වී තිබෙනවා.
 වැඩියෙන්ම අවශ්‍ය කාටද ?
වැඩියෙන්ම අවශ්‍යවී තිබෙන්නේ කලාකරුවාට.
මොන කාරණා සඳහාද ?
චිත්‍රපටයක් ගැන හිතමු. මුහුරත්         උළෙ‍ලේ ඉඳල තිරගත කිරීම දක්වා ඔහුට දේශපාලනඥයා අවශ්‍ය වෙනවා. ටෙලි නාට්‍යයකදීත් එහෙමමයි.
 නමුත් වේදිකා නාට්‍යකරුවා මේ තත්ත්වයට පත්වෙලා නැහැ නේද ?
ඔව්  වේදිකා නාට්‍ය විතරයි තවම බේරිලා තියෙන්නෙ. ඒකට වැඩිය ඇඟිලි ගහන්න එන්නෙ නෑ. නමුත් දැන් දැන් සංස්කෘතික අමාත්‍යංශය ඒකටත් විශේෂ වාරණ නීති ක්‍රියාත්මක කරන්නයි යන්නෙ. එතකොට වේදිකා නාට්‍යකරුවාටත් දේශපාලනඥයා අවශ්‍ය වෙයි.
 ඔබ නළුවෙකුට ගීත රචකයෙකුට හෝ වෙනත් කලාකරුවෙකුට එහා ගිය සමාජ ප්‍රවණතා අරභයා යම් යම් ප්‍රතික්‍රියා දක්වන්නෙක්. අප මේ සාකච්ඡාව සඳහා ඔබ හමුවන්නෙත් ඒ චරිතය නිසා. ඔබේ මෙම භූමිකාව කුමක්ද ?
මම රංගනයේ විශේෂ පුද්ගලයෙක් වීමේ ටාගට් එකක් සහිත පුද්ගලයෙක්.
 ඔබ දැනටමත් රංගනය පිළිබඳ තිබුණ සාම්ප්‍රදායික මති මතාන්තර බිඳ දමපු අතළොස්සෙන් එක්කෙනෙක්. මේ හැකියාව ලබා ගත්තේ කොහොමද ?
මම හිතන්නේ ඒක තමයි ජීවිත පරිඥානය.
 ජීවිත පරිඥානය වෙනත් ඕනෑම කෙනකුටත් තිබිය හැකියි. නළුවාට විශේෂ වන විදියයි  අපට දැන ගන්න ඕනෑ ?
දැන් බලන්න මේ ලෝකෙ ජීවත් වෙන අය බොරුනේ කියන්නේ.
මම වුණත් මම ගැන බොරු කියන්නේ. ඔබත් එහෙමයි. තව අයත් එහෙමයි.  හැබැයි ඔය අතරේ  ඇත්ත කියන්න පුළුවන් අයෙකුත් ඉන්නවා.
 කව්ද ඒ ?
ඒ තමයි නළුවා. නළුවෙකුට විතරයි ඇත්ත කියන්න පුළුවන්. ඒ චරිතයක් නිරූපණය කරද්දී අවංකව හැඟීම් ප්‍රකාශනයේ යෙදීමෙන්. එය අනෙක් කිසිම වෘත්තියකදී නොලැබෙන වාසියක්. මෙන්න මේ නිදහස මම තේරුම් අරන් තියෙනවා. ඔබ මට දුන්න සහතිකයට හේතුව ඒකයි.
අපි දැන් මුලට යමු. ඔබට කියූ පරිදි කලාකරුවාට අද දේශපාලනඥයා අවශ්‍ය වී තිබෙනවා. ඔබට දේශපාලනයෙන් මිදී ජීවත් විය හැකිද ?
කලාවට සම්බන්ධ කීප දෙනෙක් එක්ක ස්වාධීන තීරණ ගන්නව මිසක් දේශපාලන පක්ෂවලට ඇලී ගැලී ජීවත්වෙච්ච කාලය ඉවරයි.
 ඇයි එහෙම තීරණයකට ආවෙ ?
මේ රටේ තවදුරටත් පක්ෂ දේශපාලනය එක්ක ඉඳල වැඩක් නැහැ.
 නමුත් ඔබ පසුගිය කාලෙ එක්තරා දේශපාලන පක්ෂයක් සමග සිටියා නේද ?
ඔව්  පසුගිය 2010 දී මම ෆොන්සේකා මහත්මයගෙ පක්ෂය සමග හිටිය.
 ඒ මොන බලා‍පොරොත්තුවකින්ද ?
එතුමා දූෂණය, භීෂණය, වංචාව කියන කාරණාවලට මාරාන්තික පහරක් එල්ල කිරීමේ ශක්තියක් තිබුණ අයෙක්. නමුත් එහෙම අය මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ.
දැන් ඔබ එම පක්ෂය සමග නැත්ද ?
නැහැ  නැහැ  දැන් මම එතුමා ළඟ නැහැ.
 ඇයි ඔබ එයින් ඉවත් වුණේ..?
සැලැස්මක් නොතිබිම, දිනුවොත් මොකද කරන්නේ කියන එක ගැන මිසක් පැරදුණොත් මොකද කරන්නේ කියන එක ගැන සැලැස්මක් එහි තිබුණේ නැහැ.
කොයි තරම් සංකීර්ණ කාලපරිච්ජේදයක වුණත් නිර්මාණශීලීන් ඉතුරු වෙනවා. බිහිවෙනවා. එහෙම පිරිසකගේ සලකුණක්වත් මේ සමාජය තුළ නැතිද ?
තියෙනව නම් කරුණාකරලා මට පෙන්වන්න.
ඔබ කියන විදියට එහෙම නැතිවෙන්නෙ ඇයි ?
අලුත් ඥානය ගවේෂණය කරන්නත් අවශ්‍යයි ඒ කටයුත්තට.
 ඔබ අලුත් ඥානය වශයෙන් අදහස් කරන්නේ කුමක්ද ?
ලෝක පරිමාණයෙන් දියුණු වන සමාජ වටපිටාව ගැන ඇති අවබෝධය සහිත ඥානය.
 අප අසා තිබෙනවා ඩබ්. ජයසිරි පත්තර බලන්නේ නැහැ කියා. ඇයි ඒ ?
කොයි පත්තරේ බැලුවත් තියෙන්නේ එකම දෙයයි.
එතකොට සාහිත්‍ය ‍පොතපත කියවන්නෙත් නැද්ද?
පසුගිය කාලෙ සිංහල ‍පොතපත කියෙව්වෙම නැති නැති තරම්.
 අන්තිමට කියවපු සිංහල ‍පොත මොකක්ද?
ගාමිණි වියන්ගොඩ පරිවර්තනය කළ ව්‍යවච්ජේදකයා කෘතිය. එය ඉතා හොඳ පරිවර්තනයක්.
 ඔබේ මේ සාහිත්‍ය ඇසුර නැවතුනේ කොහොමද...?
ඇත්තටම එය සිදුවුණේ කබල් ටෙලි නාට්‍යවල රඟපාන්න යාමෙන්.
 ඇයි ඔබ කබල් ටෙලි නාට්‍යවල රඟපාන්නෙ
තුන්වේල සරි කර ගැනීමට. වෙන මොකටවත් ‍නෙවෙයි.
 අද තරුණ පරපුරට චෝදනා තිබෙනවා කිසිම වැඩකට නැති පරම්පරාවක් කියලා. එම චෝදනාව සාධාරණද...?
තරුණයො ඒ තත්ත්වයට පත්වෙලා නම් ඒකට වගකියන්න ඕනෑ වැඩිහිටි පරම්පරාව. වැරදිකාරයො ඔවුන්.
මොනවද වැඩිහිටියො කරපු වැරදි.?
ඒ තමයි පක්ෂ දේශපාලනයට අනුගතවීම, දරුවා පාසලට දමා ගැනීමේ සිට මුළු ජීවිත කාලයේ සෑම කටයුත්තක්ම දේශපාලනීකරණය වුණේ වැඩිහිටියන්ගේ මෝඩකම් නිසා.
 වැඩිහිටියො මොකද කළ යුතුව තිබුණෙ?
දේශපාලනඥයින් තෝරා ගැනීමේදී ඔවුන් මීට වඩා බුද්ධිමත්ව තීරණ ගත යුතුව තිබුණා.
 මෙය දේශපාලන වශයෙන් යළිත් රට උණුසුම් වෙමින් පවතින මොහොතක්. ඔබ මොන විදියකින්වත් එයට සම්බන්ධ වෙන්නේ නැද්ද..?
නැහැ නමුත් මම ඡන්දය දාන්න යනවා. මොකද ඒක වෙන කෙනෙක් හොරෙන් දාන නිසා.
ඔබ මීට පෙර දේශපාලන පක්ෂ ගැන කියූ කාරණා ගැන සලකා බලන විට ඔබේ ඡන්දය පාවිච්චි කළ හැකි පක්ෂයක් තියෙනවද...?
ඔව්  පක්ෂයක් තිබෙනවා. ඒත් මම කියන්නෙ නැහැ
අපි ඩබ්ලිව්.ජයසිරිව හමුවන්න එන්නෙ බරපතළ ලෙස සමාජයට ප්‍රතික්‍රියා දක්වන්නෙක් මුණ ගැසීමේ බලා‍පොරොත්තුවෙන්. නමුත් දැන් පෙනෙන්නේ ඔබ බොහොම ශුන්‍ය තැනක සිටින බවයි.
ඔව්  ඇත්තටම බොහොම ශුන්‍ය තැනක ඉන්නෙ. ඒක මේ සමාජ ආර්ථික දේශපාලන වටපිටාව විසින් ඇති කරපු දෙයක්.
 අපි මේ කරන සාකච්ඡාවත් බොහොම අලසයි. එසේ වෙන්නෙත් ඔබ කියන ඔය වටපිටාවෙම ප්‍රතිඵලයක් විදියටද?
මම හිතන්නෙ නැහැ, ඇත්තටම මම මේ කතා කළේ මට කියන්න ඕනෑ දේවල්ද කියල. ඇත්තටම මට කියන්න ඕනෑ දේවල් කියන්න බෑ.
 එයට හේතුව?
බයක් තියෙනව හිතේ. ඒ අනුව මෙවැනි සාකච්ඡාවල් බොහොම මන්දගාමී අඩු ලන්සුවක යන ඒවා බවට පත්වීම සාමාන්‍යයයි.
 එතකොට ඔබ මතෛක් වෙලා කිව්වෙ බොරුද?
බොරු නමෛයි. මට කියන්ඩ තියෙන දේවල්වල ඡායාව තමයි කිව්වේ. මම හිතන්නේ ඔබට ලියන්ඩ වෙන්නෙත් ලියන්ඩ තියෙන දේවල ඡායාව විතරක් වෙන්න පුළුවන් .

තිස්ස ප්‍රේමසිරි

1 comment:

  1. ඔය මහත්තයාත් සෑහෙන්න කඩේ ගියානේ. කුට්ටිය මදි නිසා නේද අඬන්නේ

    ReplyDelete

Powered by Blogger.