Header Ads

ජනපති අතුරුදන්

ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ යුක්රේනයේ අගනුවරින් සැතපුම් 10ක් පමණ දුරින්ය. පසුගිය සෙනසුරාදා සවස් වන විට මහජනතාව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය සියතට ගත්හ. දහස් ගණනින් මහජනතාව ජනාධිපති මන්දිරයට සහ කාර්යාල ගොඩනැඟිල්ල වටලන විට පොලිසිය සිටියේ සීරුවෙන්ය. මන්දිරයේ සහ කාර්යාල ගොඩනැඟිල්ල මහජනතාව අත්පත් කර ගන්නා විට පොලිසිය හඬ නඟා කීවේ 'අපි ඉන්නේ ජනතාව සමඟ' යැයි කියාය. මන්දිරය සහ කාර්යාල ගොඩනැඟිල්ල වටා මිනිස් දම්වැලක් නිර්මාණය කළ මහජනතාව කීවේ නව ජනාධිපතිවරයෙක් එන තෙක් තමන් මන්දිරය සහ ගොඩනැඟිල්ල ආරක්‍ෂා කරන බවය.

'වික්ටර් යනුකොවිච්ට අපි මේ හතර මායිමට එන්න දෙන්නේ නැහැ...'
ඔවුන් කීවේ දැඩි අධිෂ්ඨානයකින්ය. වික්ටර් යනුකොවිච්ට 2010දී මේ ජනාධිපති මන්දිරයට යැව්වේ මේ මහජනතාවමය. මේ මහජනතාවගේ කරපිටින් ජනාධිපති මන්දිරයට ගිය වික්ටර් යනුකොවිච් පළමුවෙන්ම කළේ ඔහුත් සමඟ ජනාධිපතිවරණයට තරග කොට පරාජයට පත් අපේක්‍ෂිකාව වූ යුලීයාට එරෙහිව දූෂණ චෝදනා ගොනු කොට ඇයව අත්අඩංගුවට ගැනීමය. යුක්රේන ජනතාවට යනුකොවිච්ව තිත්ත වෙන්න පටන් ගත්තේ එදා සිටය. යුලීයා පමණක් නොව විපක්‍ෂයේ ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගත්තේ මහජන ඡන්දයෙන් බලයට පත් තමාව විනාශ කිරීමට ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් වන බවට චෝදනා කරමින්ය.

'මේ කුමන්ත්‍රණකරුවන් රටට හොරෙන් ආයුධ එවල තියෙනවා. මවුබිම ආරක්‍ෂා කරන මා විනාශ කිරීම ඔවුන්ගේ සැලසුමයි...'
යනුකොවිච් ජාතිය අමතමින් රූපවාහිනියෙන් කෑ මොර දුන්නේය.

ඊළඟට ඔහු ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට මුහුණ දෙන්න ජනාධිපතිට තියෙන බලය දුර්වල යැයි කියා ජනාධිපති බලය වැඩිකර ගන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කර ගත්තේය. පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලය නම් කිරීමේ බලය පවරමින් 2004දී එරට ව්‍යවස්ථාවට එකතු කළ සංශෝධනය වහා වෙනස් කළ යුතු යැයි ඔහු කීවේය. යනුකොවිච්ගේ ප්‍රතිවාදිනිය යුලීයා අත්අඩංගුවට ගැනීමත්, විපක්‍ෂයේ ආධාරකරුවන් මර්දනය කිරීමත්, මාධ්‍ය මර්දනයත්, ජනාධිපති බලය වැඩිකර ගන්නා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයත් නිසා ඇමෙරිකාව ඇතුළු යුරෝපා සංගමය යනුකොවිච්ගේ රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදය පාලනය කොට ඒකාධිපතිවාදයට යන ගමනක් ලෙස අනතුරු ඇඟවූයේය. යනුකොවිච්ට යකා නැග්ගේය. ඔහු යුරෝපා සංගමයට එක්වීමට ලැබුණ අවස්ථාවට පයින් ගසමින් රුසියාවේ වලිගෙ එල්ලුණේය.
'බය වෙන්න එපා. ඇමෙරිකාවටයි යුරෝපා සංගමයටයි බම්බු ගහගන්න කියන්න. අපි ඔයාව රකිනවා...'

රුසියාව ඔහුට කීවේය. එතැන් පටන් ඔහු යකා නටන්න පටන් ගත්තේ රුසියාවේ හයියෙන්ය 2010 ජනාධිපතිවරණයේදී මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන බවට ප්‍රතිඥා දුන් ඔහු මාධ්‍ය මර්දනය කළේ කාටවත් නොදැනෙන්නටය. නම් හෙළි කිරීමට බය මාධ්‍යවේදීන් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට කීවේ යනුකොවිච්ට සහ ඔහුගේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි තමන් මාධ්‍යකරණයේ නියැළෙන්න ස්වයංවාරණයක් පනවාගෙන ඇති බවය.
'මෙහෙ කොහෙද මාධ්‍ය වාරණ තියෙන්නේ. පුළුවන්නම් ඔප්පු කරල පෙන්වන්න...'

යනුකොවිච් පිප්පුවේය. ඒත් ඔහු වෙනත් ක්‍රම සහ විධි පාවිච්චි කොට මාධ්‍ය හසුරුවන බව ලොවට රහසක් නොවීය.
'බොරු ගොඩක් මවල තියෙනවා. එක් පැත්තකින් ජාත්‍යන්තර ප්‍රජාවට වැරැදි චිත්‍රයක් මවන්න. අනෙක් පැත්තෙන් අපේ රටේ අහිංසක ජනතාව රවටන්න...'
යනුකොවිච් කීවේ හැඟුම්බරවය. ඒත් ඔහු රටට හිමි විය යුතු තමන්ට හිමි විය යුතු දේපොළ මංකොල්ලකන බව ජනතාව දැන සිටියහ. රජයේ සේවකයකු ලෙස ඔහු සේවය කළ කාලයේ ඔහුගේ වැටුප ඇමෙරිකානු ඩොලර් 2,000කට වැඩි වූයේ නැති බව එරට ජනතාව දැන සිටියහ. ජනාධිපති වීමෙන් පසු ඔහු හදපු මාලිගයේ සිවිලිමේ එල්ලෙන එක් ලාම්පු ආවරණයක මිල ඩොලර් 1,00,000ක් බවද ඔවුහු දැන සිටියහ. 2013දී ඔහු පත් කළ ඇමැති මණ්ඩලයෙන් භාගයක්ම ඔහු උපන් පළාතේ අය විය. අය - වැයෙන් 46%ක් පමණ ඔහු වැය කළේ ඔහු උපන් පළාත සංවර්ධනය කරන්නටය. ඒ රටේ ජනගහනයෙන් 35%ක් පමණ දුප්පත්කමේ පතුලේ සිටියදීය.

ස්වීඩනයේ ආර්ථික විශේෂඥයකු කීවේ රටේ ආර්ථිකය හසුරුවන බලය එරට නොම්බර එකේ ව්‍යාපාරිකයන් අතින් යනුකොවිච්ගේ පුතාගේ අතට ගොස් ඇති බවය. යනුකොවිච්ගේ පවුලේ ධන බලය මායිමටවත් එන්න එරට කිසිදු ව්‍යාපාරිකයකු ඉඩ නොදෙන බවත් කවුරු හෝ එවැනි උත්සාහයක් ගත්තේ නම් ඔවුන්ගේ ව්‍යාපාරික ආයතන යනුකොවිච්ගේ පවුලේ අයට විකුණන ලෙසට බලපෑම් කරන බවත් එම විශේෂඥයා කීය. යනුකොච්විට පුත්තු දෙදෙනෙක් සිටිති. එක් අයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. අනෙකා එරට පල්ලියේ ප්‍රබලයෙකි. මොවුන්ගේ ව්‍යාපාර ඇත්තේ රුසියානු දේශසීමා මායිමේය. ඔහු තම බලය රැක ගන්න පමණක් නොව ධනය රැක ගන්නද රුසියාවේ සහාය පැතුවේය.
රුසියාව ආධාර කරන්නේ තම රටට හෝ තමන්ට නොව යනුකොවිච්ට බව එරට මහජනතාවට ඒත්තු යෑමට වැඩි කලක් ගියේ නැත. යුක්රේනය යුරෝපා සංගමය සමඟ එක්වී ලොව බලවත් රටක් ලෙස දියුණු කරන්න යැයි එරට මහජනතාව ඉල්ලා සිටියේ ඒ නිසාය.

යුරෝපා සංගමයට එක්වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රකින ලෙසත් කොන්දේසි පනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට සංවර්ධනය කරන්න දුන් ණය පැකේජය එපා යැයි කියා යනුකොවිච් රුසියාවට දිව ගියේය. යුරෝපා සංගමයට එක් නොවී තමන් ළඟ රට දණින් වට්ටවන්න කියා රුසියාව යනුකොවිච්ට ආධාර මුදල් සහ සහන පැකේජයක් දුන්නේය.
'මේ පැකේජ් එක අරන් ගිහින් උඹේ රටේ මිනිසුන්ට පෙන්නල උන්ව මගේ දෙපතුල ළඟට අරන් වරෙන්...'

රුසියාවේ නායක පුටින් කීවේ රහසින්ය. යනුකොවිච් පුටින්ගේ පැකේජය බරට උස්සාගෙන යුක්රේනයට ආවේ වීරයෙක් වගේය. ඒත් ජනතාව සෙලවුණේ නැත.
'අපිට ඕනෙ යුරෝපා සංගමය...'
එරට ජනතාව කීහ. එනපොට හොඳ නැති බව තේරුම් ගිය යනුකොවිච් විරෝධතා උද්ඝෝෂණ විරෝධී පනතක් සම්මත කර ගත්තේය. ඒත් ජනතාව පාරට බසිනු ලැබීය. පනත උපයෝගී කරගෙන යනුකොවිච් ජනතාවට වෙඩි තබන්න නියෝග කළේය. 28ක් ඝාතනයට ලක් වූහ. පාර්ලිමේන්තුව රැස්වී යනුකොවිච්ට එරෙහි දෝෂාභියෝගයක් සම්මත කර ගත්තේ රට ලේ විලක් වෙද්දීය.

යනුකොවිච් පත් කරපු අගමැති ඉල්ලා අස් වූයේ මේ ලේ සෙලවීම අනුමත කළ නොහැකි බව පවසමිනි. බය බිරාන්න වූ යනුකොවිච් විපක්‍ෂයේ නායකයන්ට රජයේ ප්‍රධාන තනතුරු දී තව ආණ්ඩුවක් හදන්න ප්‍රතිඥා දුන්නේය.
'තමුසෙගේ තනතුරු පිට දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ...'

විපක්‍ෂය එක හ¾ඩින් කීහ. පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකාවන්ව එක්සත් වූයේ කතානායකවරයාගේ නායකත්වයෙන්ය. විපක්‍ෂයේ ප්‍රධාන නායිකාව යුලීයා සිරගතව සිටි නිසා විපක්‍ෂයට එක් නායකයෙක් නොවීය. අවසානයේදී ඔවුන් හැමෝම එක්වී යනුකොවිච් ජනාධිපති ධුරයෙන් ඉවත් කරන යෝජනාව සම්මත කර ගෙන කතානායකවරයා අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා ලෙස පත්කර ගත්තේය. යනුකොවිච් ඉවත් කරන යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරද්දීම යනුකොවිච් ජනාධිපති මන්දිරයෙන් පැන ගොස් රුසියා දේශ සීමා ආසන්නයේ නගරයක සිට ජාතිය ඇමැතීය. තමාව ඉවත් කර යුක්රේනය විනාශ කරන කුමන්ත්‍රණයක් ඇති බවට ඔහු ජාතිය අමතමින් අඳෝනා නැඟුවේය. කතානායකවරයා නව නායක ලෙස පත් වූ විගස ඔහු එතැනිනුත් පලා ගොස් තිබිණි. මේ වන විට ඔහු ආ ගිය අතක් නැත.
නව පාලකයා විසින් විපක්‍ෂයේ නායිකා යුලීයාව නිදහස් කරනු ලැබීය. නිදහස් වූ ඇය ජනතාව අතරට ගොස් කීවේ මෙය තමන්ගේ හෝ පක්‍ෂ නායකයන්ගේ සටනක් නොවන බවය.

'මේ සටන කළේ මා හෝ පක්‍ෂ නායකයන් නොවේ. ඔබලායි. සටනේ ජයග්‍රහණය හිමි විය යුත්තේ ඔබලාටයි...'
අලුත් ජනාධිපති එනතෙක් ජනාධිපති මන්දිරය රකින මහජනතාවට ඇය කීවේ එපමණය.

'ඒකෙන් පාඩම් දෙකක් උගෙන ගන්න තියෙනවා. ඇමෙරිකාවෙන් මානව හිමිකම් රකින්න කියල එල්ල කරන බලපෑම්වලින් බේරෙන්න රුසියාවේ සහාය පතන රටවලට යුක්රේනය හොඳ පාඩමක් කියල දෙනවා. ඒ තමයි තම කලාපයේ රටවල තමන්ට හිතෛෂී ඇමෙරිකානු විරෝධී පාලකයන් ආරක්‍ෂාකර ගන්න බැරි රුසියාව අනෙක් කලාපවල නායකයන් ආරක්‍ෂා කරන්නේ කොහොමද කියන එක. අනෙක් පාඩම තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් කඩන පාලකයන් විපක්‍ෂය පාලනය කොට විපක්‍ෂය නැඟිටීම නවත්වන්න මොන ජිල්මාට් දැම්මත් විපක්‍ෂයත් පාගාගෙන ජනතාව ඉස්සරහට එන දවසක් එනවාය කියන එක...'
මෙහෙම කීවේ ඉන්දියාවේ ප්‍රකට දේශපාලන විචාරකයෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

1 comment:

  1. හයියෝ..........................හෙඩිම දැක්කම හිතුවේ මෙහෙ කියලා. පුදුම සතුටකින් බලන්න ආවේ. ආතල් එක කැඩුනා.

    ReplyDelete

Powered by Blogger.