Header Ads

පළිගැනීම අවසන් නැත ජෙනරාල්ට දුන් ඉඩමත් පවරා ගනී

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහි රාජපක්ෂවරුන්ගේ පළිගැනීමේ කි‍්‍රයාන්විතය තවමත් අවසන් කර නැති බව පෙනේ. පසුගිය සතියේ රාවය සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කර තිබුණේ යුද ජයග‍්‍රහණයෙන් පසු රජය ඔහුට ලබාදුන් ඉඩම ද ආපසු පවරාගෙන ඇති බවය.

යුද්ධය අවසන්වීමෙන් පසු හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකට රජය විසින් ඉඩම් කැබලි තුනක් ලබාදුන්නේ එම යුද ජයග‍්‍රහණයට කෘතගුණ සැලකීමක් වශයෙන්ය.

කොළඹ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ඉඩමක් මේ ආකාරයට ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට බෙදා දුන් අතර එය එකල මාධ්‍ය මගින් ද ප‍්‍රචාරය කරනු ලැබීය. එක් අයකුට දළ වශයෙන් පර්චස් 25 බැගින් බෙදාදුන් මෙම මුළු ඉඩමේ ප‍්‍රමාණය හෙක්ටයාර 0.1937ක් හෙවත් පර්චස් 76කට මඳක් වැඩිවිය. යුද්ධයෙන් පසු මෙම ඉඩම් ලබාදුන්නද එම ඉඩම්වල කිසිදු සංවර්ධනයක් හෝ ඉදිකිරීමක් සිදුකිරීම ති‍්‍රවිධ හමුදාපතිවරුන් විසින් සිදුකර නොතිබුණු අතර ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඔහු සිරගතව සිටීම හා රාජපක්ෂ ආණ්ඩු පාලනයේ වෛරයට පාත‍්‍රවීම නිසා දේශපාලන වශයෙන් සිදුවූ කාර්යබහුලතාව ඊට හේතුවී තිබුණි.

ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ඉඩම රජයට නැවත පවරා ගැනීම පිළිබඳව දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට අයත් මුළු ඉඩමම පොදුජන කටයුත්තක් සඳහා අවශ්‍ය යැයි සඳහන් කරමින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 5 වැනි වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නමින් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.

2013 වර්ෂයේ ඔක්තෝබර් මස 23 වැනිදා අංක 1833/9 වශයෙන් මෙම අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කර ඇත. ඊට අනුව බස්නාහිර පළාතේ කොළඹ දිස්ති‍්‍රක්කයේ, තිඹිරිගස්යාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරාහේන්පිට ග‍්‍රාමයේ සර්වේයර් ජෙනරාල් විසින් පිළියෙළ කරන ලද අංක ජදරැුඔ්‍යෂරැු2012රැු892 හා 2012.11.05 දිනැති ප‍්‍රගමන අනුරේඛනයේ දැක්වෙන ‘ඇලදූව’ නමැති හෙක්ටයාර 0.1937ක් වන ඉඩම පොදුජන කටයුත්තක් සඳහා රජයට පවරා ගෙන ඇත.

මෙම ගැසට් නිවේදනය ඉඩම් අත්කර ගැනීමේ පනතේ 5 වැනි වගන්තිය යටතේ ඉඩම් විෂයභාර ඇමතිවරයා විසින් කරනු ලබන ප‍්‍රකාශය වශයෙන් සඳහන් වන අතර එහිදී පොදු කාර්යයන් සඳහා එම ඉඩම අවශ්‍ය බව ප‍්‍රකාශ කෙරේ. මෙහිදීත් සිදුවී තිබුණේ එයමය. එහෙත් එහිදී ඇතිවන ගැටලූව වන්නේ එම පොදු කාර්යය කුමක් ද යන්න නිශ්චිත වශයෙන් සඳහන් කර නොතිබීමය. පොදු කාර්යය කුමක්ද යන්න නිශ්චිත වශයෙන් සඳහන් නොකිරීම ඉඩම් අත්පත් කර ගැනීමේ කි‍්‍රයාවලියේදී පසුගිය කාලය පුරාම සාමාන්‍යකරණයට ලක්කර තිබුණි. ඊට හේතුව අත්පත් කර ගැනීමේ හේතුවට බාහිරව එම ඉඩම් භාවිත කිරීම නීත්‍යනුකූල නොවූ නිසා හා අධිකරණය හමුවේ එවැනි අභියෝග කිරීම්වලට ලක්ව පරාජයට පත්වන්නට රජයට සිදුවී තිබීමය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 5 වැනි වගන්තිය යටතේ ප‍්‍රකාශයට පත්කර ඇති එම ගැසට් නිවේදනය අනුව පෙනෙන අනෙක් තරුණ වන්නේ මෙම ඉඩම් අත්පත් කර ගැනීම ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ සාමාන්‍ය ක‍්‍රමවේදය අනුව සිදුකර ඇති බවයි. ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ හදිසියෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තවත් ක‍්‍රමවේදයක් පවතින අතර එය ආරම්භ වන්නේ එම පනතේ 38(අ) යටතේ නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින්ය. කොළඹ නගරයේ හා ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු සඳහා බොහෝ විට ඉඩම් අත්පත් කර ගනු ලැබූයේ මේ හදිසි අත්පත් කර ගැනීම් යටතේය.

ජෙනරාල් සරත් ෆොන්සේකාට ලබාදුන් ඉඩම ඉඩම් අත්පත්කර ගැනීමේ පනතේ 5 වැනි වගන්තිය යටතේ ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර තිබීමෙන් පෙනෙන්නේ ඊට පෙර එම පනත යටතේම සිදුවිය යුතු තවත් කටයුතු සිදුවී තිබිය යුතුය යන්නය. ඒ එම පනතේ 2 වන වගන්තිය යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ ඉඩමට ඇතුළුවීමට හා එහි මැනුම් කටයුතු සඳහා බලය ලබාගැනීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හා එම පනතේ 4වන වගන්තිය යටතේ ඉඩමේ හිමිකාරයාට ඉඩම අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් දැනුම් දී විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමය.

එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ ඔහුගේ ඉඩම අත්පත් කර ගැනීම පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැති බවය. එමෙන්ම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගෙන් හා හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකගෙන් ඔවුන්ට අයිති ඉඩම් කැබලි ඔවුන්ගේ පදිංචියට නුසුදුසු බවට හා ඒ සඳහා විකල්ප ඉඩම් ලබාදෙන ලෙසට වූ ලිපි ආණ්ඩුව ලබාගෙන ඇති බවට දැනගන්නනට ලැබුණු බව ය. මේ සියල්ල මගින් පෙනෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට රජයෙන් ලබාදුන් පර්චස් 25ක් පමණ වන ඉඩම් කැබැල්ල ඔහුට අහිමි කිරීම සඳහා සැලසුම් සහගත කි‍්‍රයාවලියක් රාජපක්ෂ ආණ්ඩුව කි‍්‍රයාත්මක කර ඇති බවය. ඒ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 2වන වගන්තිය යටතේ ඉඩමට ඇතුළුවීම හා මැනීම සඳහා ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීම (එවැනි ගැසට් පත‍්‍රයක් පළකළා දැයි තවම හඳුනාගෙන නැත) 4 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් පළකර ඒ බව එහි අයිතිකරුවා වන ජෙනරාල් සරත් ෆොන්සේකාට දැනුම් නොදීම හා හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ගෙන් ඔවුන්ට හිමි ඉඩම අනවශ්‍ය බවට ලිපි ලබා ගැනීම ආදියය.

රාජපක්ෂවරුන්ගේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහි මේ පළිගැනීමේ කි‍්‍රයාන්විතය අනුව පෙනෙන්නේ ඔහුට රජයෙන් ලබාදුන් ඉඩම අහිමි කිරීම පමණක් නොව ඒ සඳහා විකල්ප ඉඩමක් හෝ වන්දියක් ද ලබානොදෙන බවය. ඊට එක් හේතුවක් වන්නේ රජයෙන් ප‍්‍රදානය කරන ලද ඉඩමක් ආපසු ලබාගැනීමේදී කිසිදු වන්දි මුදලක් හිමි නොවීමය. වන්දි මුදලක් ලබානොදුන්න ද විකල්ප ඉඩමක් ලබාදීමේ හැකියාව පැවතියේ ද රාජපක්ෂවරුන් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාට විකල්ප ඉඩමක් ලබාදෙනවා යැයි සිතීම පවා කෙසේවත් විශ්වාස කළ නොහැකි දෙයකි. එසේ වුවද රාජපක්ෂවරුන්ගේ පළිගැනීමේ සැලසුමට උදව් කිරීම වශයෙන් හිටපු නාවික හා ගුවන් හමුදාපතිවරුන්ට කොළඹ නගරයේ හෝ ඒ අවට හොඳම ස්ථානයකින් මේ වනවිටත් විකල්ප ඉඩම් කැබලි දෙකක් ලැබී තිබෙන්නට පුළුවන. නැතහොත් අනාගතයේ නුදුරු දිනෙක ඔවුන්ට විකල්ප ඉඩම් කැබලි දෙකක් ලැබෙන්නට පුළුවන. යුද ජයග‍්‍රහණයෙන් පසු ලෝකයේ හොඳම හමුදාපති වශයෙන් නම්කරමින් ජයග‍්‍රාහි කේක් ගෙඩිය පවා මුලින්ම කපන්නට රාජපක්ෂවරුන්ගෙන් ආරාධනා ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ජෙනරාල් පදවි නාමය ඇතුළු උපහාර නාම සියල්ලම උදුරාගත් රාජපක්ෂවරුන් සිරකර තැබීම මගින් ඔහුගේ ප‍්‍රජා අයිතිය ද උදුරා ගත්තේය. අවසන ඔහුට ලබාදුන් ඉඩම ද උදුරාගෙන ඇත්තේය. ප‍්‍රභාකරන්ගේ මයිල් ගසක්වත් තරම් ප‍්‍රතිපත්තියක් ජනාධිපති මහින්ද රාජපක්ෂට නැති බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මෑතකදී කළ ප‍්‍රකාශය මේ පළිගැනීමේ කි‍්‍රයාවලිය දෙස බැලූ විට ද සත්‍යයක් වශයෙන් පෙනේ. කෙස් ගස් ප‍්‍රකාශය ගැන කෑමොර දෙන මහා සංඝයාවහන්සේ රාජපක්ෂවරුන් ප‍්‍රතිපත්ති විරහිතව ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් කරන මේ පළිගැනීමේ කි‍්‍රයාවලිය ගැන කියන්නේ කුමක් දැයි අපි බලා සිටිමු.

ලසන්ත රුහුණගේ  ravaya

No comments

Powered by Blogger.