Header Ads

රනිල්ට ගහන්න හැදුවාද...? බීලද හිටියේ...? - පාලිත තෙවරප්පෙරුම උත්තර දෙයි

එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා ඉකුත් සතියේ මහත් ආන්දොaලනාත්මක චරිතයක්‌ බවට පත්විය.

(දැන් ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වයද අත්හිටුවා ඇත.)

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පහරදීමට තැත්කළේ යෑයි කියනු ලබන චෝදනාව පිළිබඳව මෙසේ ඔහු ආන්දොaලනාත්මක චරිතයක්‌ වූයේය. පාර්ලිමේන්තුවේදී පසුගිය පස්‌ වැනිදා ඇතිවූ මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව පිටරට සියලුම ප්‍රවෘත්ති වාර්තාකරණයට හොඳම ප්‍රවෘත්තියක්‌ වූයේය.

පාලිත තෙවරප්පෙරුම මහතා කලක්‌ තිස්‌සේම එජාප නායකත්වයේ ඇතැම් ක්‍රියාමාර්ග නොරිස්‌සුවේය.

ඉකුත් 5 වැනිදා උදැසන හටගත් මෙම සිද්ධිය පිළිබඳව පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් අපි විමසුවෙමු.

ප්‍රශ්නය - පාලිත මහතා ඔබ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී වීරයෙක්‌ වෙන්න ගියා නේද?

පිළිතුර - මම වීරයෙක්‌ වෙන්න ගියේ නැහැ. මම කතා කළේ සාධාරණය ගැනයි.

ප්‍රශ්නය - ඔය සාධාරණ - යුක්‌තිය ගැන බීලා කතා කරන්න පුළුවන්ද?

පිළිතුර - ඔය චෝදනාව මම තරයේම ප්‍රතික්‍ෂේප කරනවා. පාර්ලිමේන්තුවේදී ඔය වෙලාවේ මම බීලා හිටියා කියලා චෝදනා කරනවා නම් පක්‍ෂයේ නායකතුමාට තිබුණා කථානායකට පැමිණිලි කරන්න. කථානායකතුමා එතකොට මාව වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරලා මම බීලාද නැද්ද කියලා හොයාගන්න තිබුණා. දැන් බොරුවට කියනවා මම මත්පැන් බීලා හිටියා කියලා. අනික පාර්ලිමේන්තුවට අපි ඇතුල් වෙනකොට පොලිසිය අපිව සෝදිසි කරනවා. එතකොට බීලා හිටියානම් අහුවෙනවා. ඇඟ බේරාගන්න එක එක චෝදනා ගොතනවා.

ප්‍රශ්නය - මොකක්‌ද ඔබ කියන්න ගිය සාධාරණය, යුක්‌තිය....

පිළිතුර - කළුතර දිස්‌ත්‍රික්‌කයේ නුසුදුසු පුද්ගලයන් දෙදෙනකුට නාමයෝජනා බාර දෙන්න තෝරාගෙන. ඔය දෙන්නාගෙන් එකෙක්‌ ගිනිපොලී කාරයෙක්‌. මේ මනුස්‌සයා පොලිය දුන්නේ නැතිනම් වහලේ උළු ගලවාගෙන යන පුද්ගලයෙක්‌. ඔහු ඒ තරමට පිළිකුල්.. අනිත් තැනැත්තාත් හිතක්‌ පපුවක්‌ නැති පුද්ගලයෙක්‌... බඩ දරු අම්මාව ... දරුවෝ ටික එළියට දාලා දොර වහලා යතුර අරගෙන ගිය මිනිහෙක්‌. ඉතින් මේ වගේ මිනිස්‌සුද ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. මේ උදවිය රැස්‌වීම් වලදී ජනතාවට මොනවද කියන්නේ. මම නියෝජනය කරන ආසනයේ මම මේවා දැනගත යුතුය. මේ වගේ උදවිය ඡන්දයට ඉදිරිපත් කළහොත් ඒගොල්ලෝ විතරක්‌ නෙමේ අපි වුණත් රැස්‌වීම් වලදී මොනවද කියන්නේ.. අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ කියලා තියෙනවා ප්‍රාදේශීය සභාවෙන් එන හිඟන්නන්ට වැඩියෙන් මෙම පළාත් සභාවට තරග කරන පොලී කාරයෝ හොඳයි කියලා... මොකක්‌ද මේ නරුම කතාව..

ප්‍රශ්නය - ඔබ පක්‍ෂයේ නායකතුමාට පහර දෙන්න සූදානම් වුණාද

පිළිතුර - අපොයි නැහැ.. අපේ පක්‍ෂයේ නායකතුමාට එහෙම පහර දෙනවාද.

ප්‍රශ්නය - ඔබ රජයට සම්බන්ධ වෙනවාද?

පිළිතුර(- ඔව්.... මම රජයට සම්බන්ධ වෙනවා.. හැබැයි මට ජනාධිපති තනතුර දෙනවානම් පමණයි. අනිත් උදවිය වගේ රජයට එක්‌වෙලා රෙදි හෝදන්න මඩ හෝදන්න මට බැහැ.

ප්‍රශ්නය - ඔබ හිතනවාද මෙම ඡන්දයෙන් එජාපය දිනයි කියලා.

පිළිතුර - මේ වෙන වැඩ හැටියට ජනතාව මොන තීරණයක්‌ ගනියිද කියලා කියන්න බැහැ. දැන්ම අපේ අඩුපාඩු හරිගස්‌වා ගත යුතුයි.

ආ.... මට තවත් දෙයක්‌ කිව යුතුයි. ඔය නාමයෝජනා දීමට අවස්‌ථාව ලබාදුන් ගිනි පොලී කාරයා ආබාධිත සෙබළෙකුගේ බොරු කකුලක්‌ පවා රැගෙන ගොස්‌ තිබුණා.

ප්‍රශ්නය - පස්‌ වැනිදා පාර්ලිමේන්තුවේදී ඔබ ඇති කරගත් ප්‍රශ්නය පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවාද?

පිළිතුර - අපේ පක්‍ෂය විනය පරීක්‍ෂණ ආරම්භ කර නැත්තේ කාන්තාවන්ටයි, නපුංසකයන්ටයි පමණයි. පක්‍ෂයේ පිරිමින් වෙනුවෙන් විනය පරීක්‍ෂණ පවත්වනවා.

ප්‍රශ්නය - ඉකුත් පස්‌ වැනිදා ඇතිවූ සිද්ධිය ගැන ඔබ හිතන හැටියට ඔබගත් පියවර ගැන ජනතාවගේ මතය කෙබඳුද?

පිළිතුර - විශාල පිරිසක්‌ මගේ මතය පිළිගන්නවා. විශාල පිරිසක්‌ පක්‍ෂයේ තත්ත්වය පිරිහෙන බව පිළිඅරගෙන තිබෙනවා. දැනටමත් සමහරු විපක්‍ෂය අත්හැර යනවා. කාගේ වරදින් හින්දද මේවා වෙන්නේ.. මම පක්‍ෂය වෙනුවෙන් විශාල ලෙස කැපකිරීම් කළ අයෙක්‌.. පක්‍ෂයේ සිදුවෙන ප්‍රශ්න අඩුපාඩු කොතෙක්‌ පෙන්වා දුන්නත් පළක්‌ නැහැ. ඒවා පිළිගන්නේ නැහැ. පක්‍ෂය තවදුරටත් පිරිහෙන්න දෙන්න බැහැ.

මේ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාගෙන් පාලිත තෙවරප්පෙරුම මහතා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අපි විමසා සිටියෙමු.

ප්‍රශ්නය - පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඇති කරගත් ආරවුල ගැන මොකද කියන්නේ..

පිළිතුර - ඔය මනුස්‌සයා ඔය වෙලාවේ බීලයි හිටියේ... නායකතුමාට ගහන්න යද්දි කට්‌ටිය බේරාගත්තා.

ප්‍රශ්නය - ඔබ කොහොමද එයා බීලා හිටියා කියලා චෝදනා කරන්නේ.

පිළිතුර - තෙවරප්පෙරුම මහතා ළඟට එද්දී මත්පැන් ගඳ ආවා.

ප්‍රශ්නය - ඔබ කියන හැටියට මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට බීලා එනවාද?

පිළිතුර - ඉස්‌සර ඔය විදිහට පාර්ලිමේන්තුවට බීලා මැති ඇමැතිවරුන් ඇවිත් තිබෙනවා. අපරාදේ කියන්න බැහැ දැන් ඒ තත්ත්වය නැහැ. මේ මනුස්‌සයා එදා බීලා ආවා.

ප්‍රශ්නය - පාලිත තෙවරප්පෙරුම මහතා පක්‍ෂයෙන් ඉවත් කරන්න පියවර ගන්නවාද?

පිළිතුර - අපොයි නැහැ. එහෙම කරන්නේ නැහැ. ඔය බීලා කරන වැඩනේ. හැබැයි ඒ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වයි.

නෝමන් පලිහවඩන

No comments

Powered by Blogger.