Header Ads

හොඳ ම දේ දරුවන්ට -- උපුල් ශාන්ත සන්නස්ගල

මා හොඳින් දන්නා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ ජාතික පාසලක නිර්මාණශීලී දරුවෙක් සිටියේ ය. හෙතෙම පන්තියේ පළමුවැන්නා ය. ඉංග්‍රීසි සිංහල ද්විභාෂාවෙන් ම කීමටත් බිණීමටත් ඔහුට හැකි ය. ඔහුගේ දෙමාපියෝ මේ සිසුවා මේ ප්‍රකට ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යනායකයකු කිරීමටත් ඉනික්බිතිව ජේ‍යෂ්ඨ ශිෂ්‍යනායකයකු කිරීමත් බලාපොරොත්තු වූහ. එහෙත් පන්තිභාර ගුරුතුමියත්, විනය භාර ගුරුතුමාත්, ශිෂ්‍යනායක කණ්ඩායම භාර ගුරුතුමාත් ඔහුට ශිෂ්‍යනායකකම නොදුන්නෝ ය. දෙමාපියන්ගේ අදහසට අනුව තම දරුවාට වඩා නායකත්ව සුදුසුකම් අඩු උපාසක උපාසිකා යුවළකගේ දරුවකුට ශිෂ්‍යනායකකම ලැබිණි. උපාසක දරුවා ශිෂ්‍යනායකයකු වෙද්දී, නිර්මාණශීලී දරුවකු ශිෂ්‍යනායකයෙක් නො කළේ ඇයි දැයි දෙමාපියෝ අදාළ ගුරුභවතුන්ගෙන් සන්සුන් ව විමසූහ. පිළිතුර මේ පරිදි ය.

"දරුවා දක්‍ෂ බවත්, හොඳ බවත් ඇත්ත. එයාගේ ඇඳුම් විලාසිතාව හොඳ නෑ. කලිසම ඇඳලා ඉණෙන් පහළට අඟල් හයකටත් වඩා පහත් කරගෙන ඉන්නේ. කලිසමට යටින් යට ඇඳුම පේනවා. යට ඇඳුම පේන්න අඳින ළමයෙක් කොහොමද ශිෂ්‍යනායකයෙක් කරන්නේ? එයා වැඩි පුරම අඳින්නේ රතු පාට අන්ඩ(ර්) වෙයා(ර්) එකක්"

පන්ති භාර ගුරුතුමිය කීවා ය.
අපේ ආතාමුත්තා ඇන්ද පිළිවෙළට ම අම්මා අප්පච්චි ඇඳුම් ඇන්ද බව ඇත්ත ය. අම්මා තාත්තාගේ ඇඳුම්පැළඳුම් විලාසිතාවට වඩා අපේ පරම්පරාවේ ඇඳුම්පැළඳුම් විලාසිතා වෙනස් ය. අපට වඩා දරුවන්ගේ පරම්පරාවේ විලාසිතා බොහෝ වෙනස් ය. අප කුඩා ම කාලයේ අමු හෙළුවෙන් සිටියා හොඳට ම මතක ය. වැද්දෝ නම් අඩු ගානේ කොළ අත්තකින්වත් අංගජාතය වසා ගත්හ. කුඩා ම කාලයේ අංගජාතය පොළවට ලම්බකව එල්ලාගෙන සිටින විට දෙමාපියෝ විලිවාඩමක් ලෙස අපට ජංගි පොඩ්ඩක් ඇන්දූහ. ජංගිය නාගරිකයාට අසභ්‍ය අර්ථයක් ගෙනාවත් "ජංගි පොඩ්ඩක්" යනු ගැමියාට සුන්දර විලිවාඩමක නමකි. ඊටත් පස්සේ කාලයේ හපුතලේ පොළට ගිය විට අපේ අම්මලා, අයියලා අඳින වර්ගයේ "ලන්කට්" එක්ක ගෙනත් දුන්නෝ ය. එය මසා තිබුණේ භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙද්දෙනි. එක කකුළක් පමණක් ඇතුළට දැමිය හැකි ය. අනෙක් කකුළ ගැට ගසා ගැනීමට රෙදිපොටවල් දෙකකි. ලන්කට් එකක් ඇන්ද විට ඉලන්දාරිකමක් දැනේ. හන්දියේ කඩමණ්ඩියට ගිය විට අප දෙතුන් වතාවක් සරම ගලවා නැවත අඳින්නේ වටපිට එවුන්ට "ලන්කට්" එක පෙන්වීමට ය. ඉලන්දාරිකමට ය. ඊටත් පස්සේ කාලයේ දී පාසලේ කොල්ලෝ ලන්කට් අඳිනවාට කීවේ "ජොකා" අඳිනවා කියා ය. ලොකු ඉලන්දාරි ඇන්දේ වෙයාර් වෙල් සපෝටර් ය.

සමහර විට ඉස්සර අටේ නවයේ ගජ ඉලන්දාරියකු පවා යටට ඇන්දේ නැත.
"උඹේ ගොනා කානුවේ. ගෙදරට කියලා ලන්කට් එකක් මහගනින්. ඔය විදියට පැත්තකට බර කරගෙන එන්නෙ නෑ - මීට පස්සෙ ඉස්කෝලේ"
අපේ ඉස්කෝලේ ගුරුවරයෙකු ඉලන්දාරි ශිෂ්‍යයකුට දවසක් බැන්නා මට හොඳට මතක ය. අපේ පාසල ගැහැනු පිරිමි මිශ්‍ර පාසලක් බව ද මෙහි දී මතක් කිරීම වැදගත් ය.

දැන් පරම්පරාව එහෙම නැත. අප කුඩා කාලයේ ඇඳේ පැදුරේ චූ දමන නිසා පස්සට යටින් රෙදි කෑල්ලක් දමන්නේ ය. ඒවාට ගමේ කියන්නේ "චූ රෙදි" ය. "හුජ්ජ රෙදි" කියා ද කියන්නේ ය. පරණ වුණා ම ඒවායේ ගඳ වැඩි ය; දිලීර ය; පුස් ගඳ ය. සමහර විට චූ සැරට පැදුර ද, මෙට්ටය ද දිරන්නේ ය. ඒ කාලේ "චූ කතා" එහෙම ය. දැන් චූටි බබාටත් නැපියක් අන්දන්නේ ය. ඒ කියන්නේ ජොකා අන්දන්නේ උපන් ගමන් ය. ගමනක් බිමනක් යන විට බබාට පැම්පර් අන්දන්නේ ය. ඒ නිසා බබා චූ දැම්මත්, ගූ දැම්මත් අම්මාගේ ඇඟේ ගෑවෙන්නේ නැත. ඉස්සර ඉලන්දාරියකුගේ හෝ ළමිස්සියකගේ යට ඇඳුමක් දුටුවොත් "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට බැලුවාක් මෙන් ලිංගික හැඟීම් අවදි වන්නේ ය. දැන් එහෙම නැත. අඳින්නේ ම යට ඇඳුම පේන්නට ය. ඉණට අඳින කලිසම අඩියක් පමණ පහතට අඳින්නේ ය. යට ඇඳුමේ බ්‍රෑන්ඩ් එක පේන්නට ම අඳින්නේ ය. දැන් බ්‍රෑන්ඩ් එක එහෙම ය. ගෑනු ළමයකු නම් උඩට අඳින්නේ ෂෝට් බ්ලවුස් එකක් ය. යටට කකුළ හිර වෙන ඩෙනිමක් ය. නැත්නම් ටයිට් ස්කර්ට් එකක් ය. විලාසිතාව එහෙම ය. ආච්චිලා නම් කියන්නේ "ත්‍රී ක්වාටර්" කලිසමක් ඇන්ද විට "කංකුං කොටුවට" යනවා වගේ කියා ය. ගැමි ඉලන්දාරියා කියන්නේ "ගංවතුර ගලලා" වගේ කියා ය. නාගරිකයාට එහෙම නැත.

දැන් කොණ්ඩය කපන්නට බාබර්ලා නැත. ඉන්නේ හෙයාර් කටර් කෙනෙකි. ඉස්සර හිටියේ ටේලර් ය. ඇඳුම් මහන්න ගිය විට මිම්ම ගන්නේ ය. දහසක් ප්‍රශ්න අසා පොඩි පොතක ඔහු ලියා ගන්නේ ය. ටේප් පටියක් ගෙන අවශ්‍ය, අනවශ්‍ය සියලු තැන් මනින්නේ ය. ඉණ කීය ද? උස කීය ද? සාක්කු සයිඩ් එකෙන් ද? ඩබල් පොකට් ද? බොත්තන් ද? සිප් එකක් ද? ගොල්පිය කොහොම ද? ටයිට් ද? ලූස් ද? බොටම් එක කීය ද? ආදී වශයෙනි. දැන් අලුත් පරම්පරාව ඉණට අඳින්නේ නැත. ඇත්තට ම නම් ඔවුන් අඳින්නේ ඉණට නො ව පුකෙනුත් පහළට ය. ඒවා වැඩි හරියක් රෙඩිමේඩ් ය. කලිසම කමිසය ලොකු ද? පොඩි ද? මදි ද? කොට ද? දිග ද? යනාදී ප්‍රශ්න දැන් නැත. රෙඩිමේඩ් එහෙම ය. කොළඹ ජාතික පාසලේ දරුවකුට "ජොකා පේන්න කලිසම ඇන්දා" කියා ශිෂ්‍යනායකකම නො දුන් බව පිළිබඳ තොරතුර මම මගේ පොඩි පුතාට කීවෙමි. මගේ "පොඩි ඉලන්දාරියා" අපූරු කතාවක් කීවේ ය.

"ඒ ටීචර් ට පිස්සු. දැන් අඳින්නෙ එහෙම තමයි. ඒ ටීචර් දන්නව ද දන්නෙ නෑ සුපර් මෑන් අඳින්නේ යටට කලිසම. උඩට අන්ඩවෙයාර් එක. ඒකත් ස්ටයිල් එකක්"
විලාසිතා ලොව වෙනස් වීම ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ වේගවත් ක්‍රියාවලියකි. ඉස්සර පච්ච කෙටුවාට දැන් කොටන්නේ පච්ච නො ව ටැටූ ය. ඇතැම් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ටැටූ නො කෙටූ තැනක් නො තැනක් නැත. ඉන්දික ගුණවර්ධන ඒ ගැන මෙහෙම කවියක් ලියා ඇත.

පොත ගන්න
ඔයා පහත් උණු
තප්පරේට
ඔයාගේ
ටයිට් ඩෙනිම අස්සේ හිටි
නිල්පාට සමනළයා
ඉගිල්ලිලා ඇවිත්
මගේ
හිතේ වැහුවා
දැන් උෟ
එළවගන්න බෑ මට
රෑට

"අපේ කාලයේ ඔය විච්චූරණ තිබ්බෙ නෑ. ඒකට දැන් කාලේ
ළමයි" යනුවෙන් දෙමාපියන් සුසුම් ලෑවාට කරන්නට දෙයක් නැත. "විලාසිතා පරිණාමය" අතින් අල්ලා නවතාගත නොහැකි ය. අප සහ අපේ දෙමවුපියන්ට වඩා අපේ සහ දරුවන්ගේ ලෝකයේ විලාසිතා පරිණාමය වේගවත් ය; සංකීර්ණ ය. ඒවා අපට වඩා බෙහෙවින් දුරස්ථ ය. ඒ නිසා කෙල්ලෙක්ගේ කකුලක්, පයෝදරයක්, බුරියක්, යටඇඳුමක්, දුටු විට අලුත් පරම්පරාව කුලප්පු වන්නේ නැත. ගෝත්‍රික ගණින්නාන්සේලා, සීයලා, ආච්චිලා කුලප්පු වන බව ඇත්ත ය. නිතිපතා ඇස්පිල්ලම් ගහන හැම ඇසිල්ලේ ම යට ඇඳුම් පෙනෙන්නට අඳින කෙල්ලන්ගේ පශ්චාත් බාගත්, කලවත් දකින්නන්ට එකී ලෝකය සුලබ ය. ඒ ලෝකය නො දන්නා, හිටි ගමන් සයිබර් අවකාශයෙන් ඒ ලෝකය දකිනා "ජාතික තරුණයෝ", "නාකි උන්දෑලා" සහ උන්දෑලා වර්ගයේ කට්ටිය රෙදි වැලක "වවුලෙක්" වහලා සිටියත් කුලප්පු වන්නෝ ය. ඒ ඔවුන් පරිණාමය නො වී ඇති නිසා ම ය. අනාගතයට පරිණාමය නො වන සචේතන අචේතන වස්තු සියල්ල ම විනාශ වන බවත්, එය ප්‍රතිසංස්කරණය කළ නො හැකි බවත් ඔවුන්ට සිහිගන්වමි.

ගල්ලෑල්ලක් සහ ගල්කූරක් රැගෙන "හෝඩිය" පන්තියට ගිය කාලය දැන් අවසන් ය. වැලිපීල්ලේ හෝඩිය ලියූ කාලය ද දැන් නිමා වී ඇත. නිල්පාට කොටකලිසමක් ඇඳගෙන සුදු පාට අත්කොට කමිසය "රොබින් නිල්" දියරෙන් සෝදා තැන් තැන් වල නිල් පැල්ලම් සමඟ ඉස්කෝලේ ගිය කාලය ද අවසන් ය. උඩ සාක්කුවේ ගසා ගෙන ගිය නිල් පාට "සියල්" පෑනෙන් බොඳ වුණු තීන්ත පැල්ලම් අපේ කමිසයේ උඩ සාක්කුවේ යට තිබුණු බව අපේ පරම්පරාවේ ඇත්තන්ට මතක ය. ඒ තීන්ත පෑනේ "කන්‍යාභාවයේ සලකුණ" යි. පැන්සල් ගෙවී ගිය විට අපේ අප්පච්චිලා කළේ පැන්සලේ මිනිරන් තුඩ උණ පුරුකක ගසා ගැනීම ය. අප කළේ බෝල්පොයින්ට් පෑනේ විල්ලේ පැන්සල් කොටය ඔබා ගැනීම යි. ශිෂ්‍යත්ව විභාගය ලියන විට පැන්සලේ දෙපැත්තම අප්පච්චී වක් පිහියෙන් උල් කොට දුන්නා මතක ය. එක් කෙළවරක තුඩක් කැඩෙයි කියා බයට ය. අප ඒ කාලේ ඉගෙන ගත්තේ එහෙම ය. ඒ වින්ද "දුක" ආඩම්බරයක් කොට සැලකීම සහ එකී "දුක" "යගදාවක්" කොට ඊළඟ පරම්පරාවට පහර ගැසීම නොකළ යුත්තකි. වැඩිහිටියාගේ

ළමා කාලයේ "දුක" වැඩිහිටියාට ආඩම්බරයක් වුව ද ළමයාට "අඤ්ඤකොරොස්" කතාවකි. එයට හේතුව තීන්ත ඉහිරෙන සියල් පෑනත් උණ පුරුකේ ගසා ගත් මිනිරන් කූරටත් නො තේරෙන අලුත් "පීස් ගොඩක්" නූතන ළමයාගේ "පෙන්සිල් කේස්" එකේ ඇති නිසා ය. මොහොතකට දරුවාට බැන වදින දෙමාපියන්ට යෝජනාවක් කරන්නෙමි. ඉන්න ගමන් දරුවාගේ "පෙන්සිල් කේස්" එක විවර කරන්න. ඔබට පහත සඳහන් දේ සහ තවත් බොහෝ දේ හමුවනු ඇත.

විවිධ වර්ගයේ පාට පාට පෑන් සහ පැන්සල්, මකන, ටිපෙක්ස්, ස්ටෙප්ලර්, ස්ටෙප්ලර් කටු, කතුරක්, ගම්බෝතලයක්, රබර් බෑන්ඩ්, කොණ්ඩ බෝල, ස්ටිකර්, පාට පින්, බාගේ අඩිරූලක්, සෙලොටේප් එකක්, කටරයක්, සිම් කාඩ්, රීචාර්ඩ් කාඩ්, පන්ති කාඩ්, මුදල් කොළ සහ සිල්ලර කාසි, කෙටි සටහන්, චූටි පනාවක්, සුවඳ විලවුන්, අත් ඔරලෝසුවක්, (වේලාව බලන්නට නොවේ. වේලාව බලන්නේ ජංගම දුරකථනයෙනි) කුඩා ටිෂූ පැකට් එකක්, නළු නිළියන්ගේ දින දර්ශනපත්, තඹ පාට රත්නමාලි යන්ත්‍රයක්, ගණදෙවි රූපයක්, මූණ බලන චූටි කණ්ණාඩි කෑල්ලක් සහ තවත් බොහෝ අලංකරණ දේවල් ඔබට දැකගත හැකි වනු ඇත. දැන් ඇත්තේ පැන්සල් පෙට්ටියක් නොව වයිවාරණ හැඩයෙන් යුතු පෙන්සිල් කේස් එකක් ය. ඒ වටේ ටැග් වර්ග බොහෝ ප්‍රමාණයකි. කුඩා "බඩී" වර්ගයේ "සිලිං බිලිං සරුවත් කරත්තයක්" මෙනි. සියල් පෑනින් උසස් පෙළ ලියා, ජීවිතයේ ලොකු ම තෑග්ග ලෙස පාකර් වර්ගයේ පෑනක් තෑගි ලැබූ අපට මේ සිලිංබිලිං පෙන්සිල් කේස් එකේ සමාජ විද්‍යාව හඳුනා ගැනීමට අපහසු වීම සාධාරණ ය. ඔබට ළමයා අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ ආසනයේ සිට ළමයා දෙස නො බලා

ළමයාගේ ආසනයේ සිට ඔබ දෙස බලන්න.


උපුල් ශාන්ත සන්නස්ගල

No comments

Powered by Blogger.