Header Ads

ඩිජිටල් එළදෙන්නු සහ ඇනලොග් බූරුවෝ (rear gate)

මේ ෆේස්බුක් මරණ තුට්ටුදෙකට දාලා එල්ලිච්ච උන් නිකංම එළදෙන්නු කරන එකට මං විරුද්ධයි. මේවා සයිබර් මරණ. මේවා නියම සංස්කෘතික මරණ.

ඔන්න කොල්ලා කෙල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් එක්ක ගියයි කියලා කෙල්ල කණේරු ඇට කාල මැරෙනවා. ඕව ඉතිං මානව ඉතිහාසේ පටන්ගත්තු දා ඉඳංම තියෙන දේවල්නේ. ශාරීරික වැඩක්.  ආරංචිය ආවා... කනේරු ගහක් ලගට ගියා... ඇට හතඅටක් කඩාගත්තා... සීනි එක්ක කාලා මලා........

ඒ වුනට මේවා එහෙම නෑ. එකෙක් තමුන්ගේ සිතුම් පැතුම් හරි, ඊනියා පින්තූරයක් හරි දත්ත විදිහට පොඩි ඉලෙක්ට්‍රොනික් අටමගලෙකට දානවා. පස්සේ ඕක ප්‍රොසෙසරයකට ගිහින් තැලිල පොඩිවෙලා පොඩි පොඩි බයිනරි සංකේත විදිහට කැඩිලා වයර් දිගෙයි, විද්‍යුත් චුම්බක සංඥා විදිහටයි, පස්සේ ෆයිබර් ඔප්ටික්ස් මෙව්වා දිගේ ආලෝක සංඥා විදිහටයි පරිවර්තනය වෙවී කිලෝමීටර් දාස්ගානක් ඈත සර්වර් වලට යනවා. ඊට පස්සේ සර්වර් කාරයා ඌට ලැබිලා තියෙන උපදෙස් විදිහට අවශ්‍ය අයට ඕනෙනං ලබාගන්ට මෙව්වා අවශ්‍ය තැන්වලට යොමුකරලා තියනවා.
පස්සේ වෙන එකෙක් හරි එකියක් හරි, අර ගියපු මාර්ග දිගේම මෙව්වා සල්ලි ගෙවලා බයිනරි සංකේත විදිහටම කිලෝමිටර් දාස් ගානක් ඈත ඉඳන් තමුන්ගේ විද්‍යුත් අටමගල් වලට ගෙන්නගෙන, එව්වා ආපහු ප්‍රොසෙසරයකින් පූට්ටුකොරලා, සිලිකන් තිරේක  ඊනියා අතුරු මුහුණතකට අරං කියවලා.......
දුවලා ගිහින් බෙල්ලෙ වැල දාගන්නවා....!!

මේක සංස්කෘතිකයි. ටිකක් නෙමේ. හොඳටම සංස්කෘතිකයි. මානව ඉතිහාසයේ මොකාද හිතුවේ කවදහරි මිනිස් අදහසක් එක-බින්දුව සයිස් එකට කුඩුපට්ටම් කරලා, තත්පර ගානක් ඇතුලත දුර ඈතට ගෙන්නගෙන  ඒක ආපහු ප්‍රතිනිර්මාණය කරලා හිත රිද්දගෙන මැරෙන්න පුළුවන් වෙයි කියලා? ඒ පළවෙනි කරුණ.

දෙවෙනි එක මේකයි. මේක කොච්චර සංකීර්ණද කියලා අපි නිකමටවත් හිතන්නෑ. නිකමට බලන්න කොල්ලා බැන්නා කියලා එල්ලෙන එකකයි, ෆේස්බුක් නිසා එල්ලෙන එකකයි තියෙන වෙනස. කොල්ලා බැන්න සීන් එකේදි මූලිකව අවශ්‍ය වෙන්නේ කොල්ලාගේ බැණුම ඇහෙන එක විතරයිනේ.  ඊට පස්සෙ (මරණ දෙකටම පොදු) එල්ලෙන්න තැනකුයි, ලණුවක් හරි සාරියක් හරි වගේ එකකුයි. තව ඕන්නං ලියුමක් වගේ ලියන්න හිතුනොත් කඩදාසියකුයි පෑනකුයි......

නමුත් ෆේස්බුක් එල්ලිල්ලක් එහෙම නෑ. මුලින්ම කොම්පියුටරයක් හරි ෆේස්බුක් යන්න පුළුවන් වෙන සුකුරුත්තමක් හරි තියෙන්න ඕනේ. එක පැත්තක විතරක් තිබිලා බෑ. දෙපැත්තටම තියෙන්න ඕනේ. ඒකට පොඩි පහේ ආර්ථික ශක්තියක් තියෙන්නත් ඕනේ. ඕකක් පරිහරණය කරගන්න තරමක දැනුමක් ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාව තියෙන පළාතක ඉන්න ඕනේ. ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න අයිඩින්ටියක් තියෙන්න ඕනේ. බිල ගෙවාගන්න සල්ලි තියෙන්න ඕනේ. ෆේස්බුක් තහනම් නොකරන ලද දේශපාලන වටපිටාවක් තියෙන්න ඕනේ. මොන මගුල නැතත් කරන්ටෙක තියෙන්න ඕනේ.

මම කියන්නේ ඕවයින් එකක් හරි මිස් උනොත් ඔය මරණය වෙනවද? අන්න එතනයි අපිට වැදගත්. ෆේස්බුක් නිසා මැරෙනවනං ඒ දියුණු මිනිසෙක්. ඒක නිසා මේවා “දියුණු සංස්කෘතික මරණ”.

ලංකාවේ ෆේස්බුක් තහනම් කරයිද, නැද්ද වගේ නිශ්ඵල කතාවලට කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ගලන ගඟක් ආපහු හරවන්න බැහැ වගේම, මානව දියුණුව ආපහු ගල්යුගේට ගෙනියන්න මොන ගල්වැද්දටවත් බැහැ. එහෙම කරන්න හැදුවොත් මේවා මීටත් වඩා සංකීර්ණ විදිහට ගල්ලෙන බිඳගෙන ලෙන්දොර ඇරගෙන අපූරුවට ඒවි.

මේ මැරෙන්නේ නිකංම එළදෙන්නු නෙමෙයි.  මෘදුකාංග අතුරු මුහුණතක ‘එක පතේ කන’ තරමට එක පැත්තකින් දියුණු මිනිස්සු. කාටහරි එළදෙන්නු කියන්න ඕනෙමනං, අඩුමගානේ ඩිජිටල් එළදෙන්නු. මේවා ඇනලොග් ක්‍රමේට ප්‍රින්සිපල්ලා මාරුකරලා විසඳන්න පුළුවන්ද මම දන්නෙ නෑ. ලොකුම වසංගතේ ඇනලොග් ජනමාධ්‍ය බූරුවෝ. “තවත් මල් කැකුළක් අද අකාලයේ පරවුනා....” කියල මුං පටන්ගන්න තෙල් බේත් බිස්නස් එක දැක්කාම ඇනලොග් ඩිජිටල් බේදයක් නැතුව කාට කාටත් එල්ලෙන්න නොහිතුනොත් තමයි පුදුමේ.

ඉතිං අඩුමගානේ මේ ෆේස්බුක් මලගෙවල් ටිකවත් ඔය ඇනලොග් බූරුවන්ට විකුණගෙන කන්න බැරිවෙන විදිහට ටිකක් දියුණු සංස්කෘතික විදිහට ගන්න තිබ්බනං අගෙයි නේහ්?

http://reargate.blogspot.com.ar/2014/02/blog-post_25.html

No comments

Powered by Blogger.