Header Ads

වෙනුෂාගේ මරණය සහ විදුහල්පතිගේ කලිසම

ෆේස්‌ බුක්‌ සමාජ ජාලයේ තිබූ ඡායාරූපයක්‌ හේතු කොට ගෙන සාරියකින් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගත් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂා බණ්‌ඩාර දියණිය මේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විදුහල්පතිවරුන් ලෙස සිටින ඇතැම් ගොන් බූරුවන් පිළිබඳ කතන්දරයේ බිහිසුණු ලේ පැල්ලම විය යුතු ය. නවීන ලෝකය පිළිබඳ දැනුමක්‌ නැති, පරිගණක සාක්‍ෂරතාව නැති, යුද පුහුණුව යනු මේ ලෝකයේ හොඳම පුහුණුව ලෙස කල්පනා කරන, ඉංග්‍රීසි භාෂාව යනු යර්ස්‌, නෝ, ගුඩ් මෝනිං, ගුඩ් නයිට්‌ පමණකැයි දන්නා මැටි හරක්‌ විදුහල්පති තනතුරුවලට පත් වූ විට දරු දැරියන් සිය දිවි නසා ගැනීම නිතර අපේක්‍ෂා කළ යුතු ය. වෙනුෂාගේ පාසල භාරව සිටින, ඇගේ මරණයට වගකිව යුතු බවට බොහෝ දෙනා කල්පනා කරන විදුහල්පති පලවා හරිනු පිණිස දැනට පැවැත්වෙන මාරාන්තික උපවාසය විසුරුවා හරිනු පිණිස පොලිසිය උසාවි නියෝගයක්‌ ඉල්ලා සිටියද, එය බැහැර කළ කුරුණෑගල මහෙස්‌ත්‍රාත්තුමා "උපවාස කිරීම මූලික මිනිස්‌ අයිතිවාසිකමක්‌" බව ප්‍රකාශ කිරීම අනර්ථයට පත් දෙමාපියන්ට විශාල ශක්‌තියකි. උත්තරීතර අධිකරණයත් මෙයට එරෙහි වූයේ නම් දෙමාපියන්ට සිදුවන්නේ විදුහල්පතිත් එල්ලා තමන්ටත් එල්ලෙන්නට ය.

උපවාසකරුවන්ගේ අත්වල තිබෙන සටන් පාඨ පුවරු රූපවාහිනී නාලිකා මගින් ප්‍රදර්ශනය වන විට මුළු රටම ඒ දෙස බලා සිටියේ ය. "බිරිය හා දරුවන් ගෙදර තබා පෙම් කෙළින වනචරයා" යනාදී වශයෙන් ඇතැම් පුවරුවක විය. මෙය අලුත්ම කතන්දරයකි. එය කා ගැන ලියන ලද්දක්‌ ද යන්න අපි නම් නො දනිමු. සමහර විට එය වෙනත් ප්‍රින්සිපල් කෙනකු ගැන කියූ සටන් පාඨ පුවරුවක්‌ වැරදීමකින් මෙහි රැගෙන විත් අල්ලා ගෙන සිටීමක්‌ විය යුතු ය. කෙසේ වුවද ජෝන් කොතලාවල විදුහලේ සිසු දරුවන් ඉතා භයානක අන්තරායකට මුහුණ පා සිටින බව පමණක්‌ අපට පැහැදිලි ය. උද්ඝෝෂකයන්ගේ අරමුණ වන්නේ ගරු විදුහල්පතිතුමා පලවා හැරීම ම ය.

ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පතිතුමා ඉතා දරදඬු පුද්ගලයකු බව කියනු ලැබේ. එබඳු අය විදුහල් පද්ධතිය තුළ සිටින අවස්‌ථා ඕනෑ තරම් තිබේ. එහෙත් ඔවුන් නිසා ළමයින් සිය දිවි නසා ගන්නා අවස්‌ථා අඩු ය. කෙසේ වුවද ඒ නිසා පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් අය ඕනෑ තරම් සිටිති. සමහර ගුරුවරුන් දරුවන්ට පහර දෙන්නේ නූගත් ගැල්කරුවකු හරකකුට පහර දෙන පරිද්දෙනි. ඇතැම් පාසල්වල සිටින ගුරුවරු අතින්, අඩිරූලෙන් පයින් පමණක්‌ නොව කැඩුණු ඩෙස්‌ පුටුවල කකුල්වලින් ද ළමයින්ට තලති. මෙයට සපයන අර්ථකථනය වන්නේ "ගුරුවරයා ළමයාට ආදරය කරන බැවින් ළමයා යහමඟට ගැනීමට තලන බව"ය. ආදරේට පුටු කකුලකින් ගහනවා නම් ආදරේ හුඟක්‌ වැඩි වූ විට පිහියකින් ඇනීම වුව බලාපොරොත්තු විය යුතු ය. ඇත්ත කතාව මෙසේ යá ගුරුවරයා විසින් ළමයකුට පහර දෙන්නේ පෙරළා පහර දීමට තරම් ශක්‌තියක්‌ ළමයාට නැති නිසා ය. ඇතැම් පාසල් ගුරුවරු පන්ති කාමර පවත්වාගෙන යන්නේ හරක්‌ මඩු හැටියට ය. එහෙත් ළමයින්ට අං හෝ වල්ගා නැති බව එකී භීෂණකාරී ගුරුවරු මතක තබා ගත යුතු ය.

අපට වැටහෙන පරිදි ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති විසින් දැනට පවතින නරක තත්ත්වයට පිළියම් යෙදිය යුත්තේ වහාම ඉල්ලා අස්‌ වී ගෙදර යැමෙනි. එය නරක පරමාදර්ශයක්‌ වීමට ඉඩ තිබෙන නමුදු දැනට සිද්ධ වීමට යන දේ එයට වඩා බරපතළ ය. උපවාස කරන දෙමාපියන්ගෙන් එක්‌ අයකු හෝ මිය ගියහොත් විදුහල්පතිට එල්ලෙන්නට සිදුවෙයි. එවිට විදුහල්පතිගේ පැත්තේ සිටින සහ දැනට ඔහුට පක්‍ෂව උපවාස කිරීමට සෙට්‌ වී සිටින අය මරාන්තික උපවාස පටන් ගෙන මිය යනවා ඇත. මෙසේ පාර්ශ්ව දෙකෙන්ම එකා බැගින් මිය යන විට බළලුන් දෙදෙනා කා ගැනීමේ කතාව හට ගනී. එනම් කාගෙන - කාගෙන අවසානයේ වලිග දෙක පමණක්‌ ඉතිරි වීමේ කතාව ය. මෙය ඊට වඩා ප්‍රායෝගික අවසානයක්‌ සහිත කතාවක්‌ විය යුතු ය. මේ විදුහල්පතිතුමාගේ කලිසම ගලවා ඔලුවේ එතීමට අප දෙමාපියන්ට ඉඩ නො තැබිය යුතු ය.
divaina -

2 comments:

  1. මෙය පනින රිලවුන්ට ඉනිමං බැදීමක් වැනිය .මෙයින් සිදුවන්නෙ ඊටත් වඩා අනර්ථකාරි සිදුවීමකි.පාසල් ළමුන් මෙය ඔවුන්ට වාසියක් කර ගනී. ඔවුන් හැම එකාම ප්‍රසිද්ධියේම ෆේස් බුක් හි සැරිසරති. ගුරුවරුන් හට ඔහේ බකං නිලාගෙන සිටීමට සිදු වේ.රනිල් වික්‍රම සිංහ මහතා ගෙන දුන් සාමයේ දී සිදු වුයේත් එයමය.හමුදාවන්ට තාඩන පීඩන සියල්ලක්ම ලැබුනේ එහි ප්‍රතිපලයක් ලෙසිනි.නමුත් ඔවුන්ට කරබාගෙන සිටීමට සිදුවිණ. එය මැයි අදත් පාසල් පද්දතිය තුල සිදුවීමට යන්නේ.විදුහල්පතිවරයාද වැරදිබව හැගෙනු ඇත.නමුත් වෙනූෂා පුංචි දැරිවියද නිර්දෝෂි යැයි ඔප්පු කල නොහැක.ඇයද පාසල් ප්‍රජාවට කරන ලද්දේ වරදක්ය. පාසල් දැරිවියක් එසේ කිරීම වරදක් වුවත් එයට විදුහල්පති මීට වඩා යහපත් ආකාරයෙන් කටයුතුකල යුතුව තිබුණි. ඒ මන්ද යත් අතීතයේ යම් යම් සිදුවීම් පාලකයන් සිහියේ තබා ගතයුතු නිසාය.එය කොයි හෝ පාලකයෙකුට වුව වැදගත් වනු ඇත.නක්සස්ත්‍රය කියන්නන් වුව මෙම ක්‍රමය අනුගමනය කරනවා ඇත.

    ReplyDelete
  2. "ෆේස්‌ බුක්‌ සමාජ ජාලයේ තිබූ ඡායාරූපයක්‌ හේතු කොට ගෙන සාරියකින් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගත් කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ වෙනුෂා බණ්‌ඩාර දියණිය" මෙය ඔබගේ blog සටහනේ මුල්ම වැකියයි .පූර්ව නිගමනය ඉතා පැහැදිලිය .සියදිවි හානි කරගැනීම කෙනෙක් ගන්නා ඉතා අසීරු තීරණයකි .එය එක හුදකලා සිදුවීමක් වටා පමණක් ඔතා දැමීම විශාල වරදකි .ඇයගේ දෙමාපියන්ගේ අඩදබර නිසා ඇය මානසික ගැටලුවකට ලක්වීසිටි බව කියවේ .දෙමාපියන් කර ඇති එම අනර්ථය පිළිබද ඔබලාගේ තක්සේරුව කොපමණද ?දෙමාපියන් ගේ ගොන්කම් නිසා ඇය විශාදයකට ලක්නොවී සිටියානම් මෙතරම් වයසක ළමයෙකු නරක වචනයෙන් බැනුම් ඇසූ විගස දිවිනසා ගනීද ?පෙම්වතා අධමයෙක් බව පැහැදිලිය.ඔව්න්ගේ ඇසුර කුමන අයුරක් ගෙන තිබුනාද ? මීට වසරකට පෙරද ඇයට අවවාද කල බව විදුහල්පතිවරයා පවසා ඇත .මෙහිදී පෙම්වතා ,ඇගේ දෙමාපියන් ,facebook සමාජ ජාලය ,සිසුවිය ,මෙම පෙම් සබදතාවට උදවු කල අය ,සියලුදෙනා නිදොස් කර විදුහල්පතිගේ බොටුවට තොන්ඩුව දමා ඇත .ඔහු පරුෂ වචන කීවානම් වරදකි .නමුත් එම පාසලේ 4000 වන අනෙකුත් සියලු ළමුන් තම පෙම්වතුන් හෝ පෙම්වතියන් සමග චයාරුප ගෙන නැතුවට සැක නැත .ඒ අනුව විනයගරුකව හැසිරෙන අනෙක් ළමුන් ගේ එම ගුණාංග රැක ගැනීමට දිරි වස් යම් ක්‍රියාමාර්ගයක් විදුහල විසින් කර ඇති බව පෙනේ .තම දෙමාපියන්ටත් පාසලටත් හොරා සිසුවිය පෙම් සබදතාවක් පවත්නුවානම් මෙය සිදුනොවේ .ජීවිතයක් කෙසේ නැති උවත් එය මහත් වේදනාවකි .නමුත් මෙහිදී බොහෝදෙනා සංවේදී වීම හැර ප්‍රශ්නය දෙස තුලනාත්මකව නොබලන බව කණගාටුවෙන් යුතුව කිව යුතුය .facebook ළමුන් වෙත ලංවී ඇති තරම අප දනිමු .මින්පසු facebook වලට තාක්ෂණයට ඉඩදී අප ඔහේ බලා සිටිමු .

    ReplyDelete

Powered by Blogger.